තිලකෙ අයියා වාහනය ස්ලෝ කරන ටිකට මම වීල් එකෙන් එළියට පැන්නේ කෝච්චිය ප්‍රමාද වෙන වග යකඩ කටින් කියන එක අහගෙන.
“ඉසංක මල්ලි, එහෙනං පරිස්සමින්, බුදු සරණයි” තිලකේ අයියා ඒ ඇසිල්ලේ පිටත් විය.
හදිසියක් තිබුණත් නැතත් ඉස්ටේසම ලඟ කුසුමා අක්කගෙන් තිහේ තම්බපු කඩල මල්ලක් ගන්න අමතක නොකරන මම අදත් කඩල මල්ල බෑග් එකේ ඔබා ගත්තෙමි, නුවරට කෝච්චිය නවය, නවය හමාර වෙද්දි යනකං බඩ ගෙඩියේ යක්කුන්ට දෙන්නට ඇත්තේ ඔය කඩල මල්ලත් ඔපීසියෙන් පුරවා ගන්නා වතුර බෝතලයත් පමණකි.
වෙනදාට නම් කෝච්චිය පරක්කුවෙන නිවේදනයට දත් මිටි කැවුනාට ඉහ මොල ගිනි ගත්තාට අද වෙනස් ම දවසක්, ගිය සතියට එපිට සතියේ පියාණන්ගේ අවසන් කටයුතු මහයියාවේදී කලායින් පසු හවසට නුවර දුවන්නට මහ කලබලයක් නැති තරමකි. ස්ටේසමට එහායින් මුහුද දෙස බලාන උණු කඩල ස්වල්පයක් නිවී හැනහිල්ලේ විඳින පලමුවතාව මෙය විය යුතුය.
තිස් පස් වසරක හමුදා සේවයෙන් පසු විශ්‍රාම දිවියෙන් කල් ගෙවූ පියාණන් එකතැන් වීමත් ආයතනයේ කොළඹ ව්‍යාපෘතියට මට කොළඹට එන්නට වූයේත් හරියටම මීට වසරකට පෙරය. අම්මා ගැන හරි මතකයක් මට නොතිබුණත් අම්මා, තමාටත් පියාණන්ටත් මහත් සේ ආදරය කල වග ආච්චම්මා කුඩා අවධියේ පුන පුනා කීවා මතකය. ආච්චම්මා සමඟත් ඇයගේ වියෝවෙන් පසු බටුවත්තේ නැන්දාත් සමඟත් කුඩා අවධිය, පාසැල් අවධිය ගත කල මට පියාණන්ගේ ඇසුර හරියාකාරව ලැබුණේ ටෙක්නිකල් කොලීජි යන්නට ආරම්භ කල අවධියේ පියාණන් එවකට හිටි රජයෙන් හදිසියේ විශ්‍රාම ගැන් වූ නිසාවෙනි.
වසර හතරක් පමණ ගෑණු පරාණයක් නොහිටි ගෙදර සියළුම කටයුතු පියාණන් නොපිරිහෙලා සිදු කල අතර මමත් පියාත් අතර සම්භන්ධය අලුත් වූයේ දෙදෙනාටම නොදැනී වග අද ද මම සිතන්නෙමි. හමුදාවෙන් ලත් විනය හා පිළිවෙල වසර තිස්පහකට පසුවද මනාව ප්‍රයෝජනයට ගත් පියාණන්ගෙන් මා ඉගෙන ගත් දෑ බොහෝමයක් විය. එය, ටෙක්නිකල් කොලීජියෙදී ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමටත් ඉක්බිති රැකියා ස්ථානයේ කටයුතු සාර්ථක කර ගැනීමට අද ද රුකුලක් වෙන බව ද මම දනිමි. උග්‍ර පොත් පරිශීලකයෙකු වූ පියාණන් සහ මම අතර පොත් ගැන වූ කතා බහ බොහෝමයකි. අවසානයට පියාණන්ගේ පොත් රාක්කයෙන් ගත් පොතක් අද ද බෑගයේ ඇත. කොළඹ-නුවර කෝච්චි ගමන රස වන්නට පොතක් උවමනාය. පහුගිය සති දෙක තුනේ වූ කලබල නිසාවෙන් ඒ පොත තවමත් එපරිද්දෙන් ම බෑගයේ පිටත සාක්කුවේ ඇත.
මුහුද දෙස බලාන උන්නාට හිත ලෝකෙ පුරා යන වග මතක් වුණු මගේ දැහැන බිඳුණේ ඈත සිට රේල් පාර අයිනෙන් හිමිහිට ඇදෙන ඇය දුටු විටයි.
මේ වෙලාවට ස්ටේසමට ඇදෙන කිසිම ගැහැණියකට වඩා ඇය වෙනස් වූවාය. ඈ පරණ නිළියක් මෙනි. අලුත් පන්නයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු දාහක් දෙනා අතර ඈ කැපී පෙනුණාය. තාත්තා සමඟ කාලයකට ඉහත බැලූ රතු රෝස කතාවේ චාපා මෙනි. එකම වෙනස නළලතේ මොට්ටුවක් තිබීම පමණකි. නිස්කලංක හිතුවිල්ලේ නොහිටියා නම් මට ද නොදැනෙන නොපෙනෙන ඇය, කාගේ කවුරුන් වන්නට ඇත්දැයි එක්වරම මට සිතුණි.
ඇය ප්ලැට්ෆෝමයට ලඟා වූයේත් නුවර කෝච්චිය මාතර සිට පැමිණියේත් එකම වෙලාවටය. සෙනඟ අතර ඇය අතුරුදන් වූ අතර මම පුරුදු කෝච්චි පෙට්ටියේ එල්ලුණෙමි. කොටුවෙන් කොහොමත් ආසනයක් ලැබෙන නිසාවෙන් මුහුදු සුලඟ වැදෙමින් විනාඩි පහක් දහයක් දොරටුවේ එල්ලී ගමන් කිරීම එක්තරා ආකාරයක ආශ්වාදයකි. එහෙමකට දවසක අවරගිරෙන් බැස යන රක්තවර්ණ ඉර දෙයියන්ගේ ප්‍රාතිහාර්යන්ද දැක ගැනීමට හැකිය.
අද කොටුවට කෝච්චිය එනතුරුත් මගේ ඔලුවේ කරක් ගැසුවේ ඇයයි. වාහන තෙල්, දුම්, දූවිලි අතරින් පවා පෙනුණු ඇයගේ අමුතු ලස්සනක් තිබුණු වග මට එකවරම සිතුණි. ඒ සිතුවිල්ල විදුලියක් ලෙස අමුතුවට ශරීරය පුරා දිව්ව වගත් දැනුණි, එය මේ ජිවිත කාලයේ පලමු වතාවට සිදු වූවකි.
දෙසැම්බරයේ සීතලත් අමතක වෙන තරමට හිත උණුසුම් වූයේ ඇගේ මතකය නිසා විය යුතුය. මා මෙලෙස සිතමින් රාත්‍රියේ කීය වෙනතුරු සිටියාදැයි අදටද මතකයක් නැත. නමුත් හැමදාම වගේ පාන්දර දෙක හමාරත් තුනත් අතර ඇහෙන බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම් රියේ හඬට මම නැවතත් ගැස්සී ඇහැරුණු වග නම් මතකය. ඇහැරී පලමු සිතුවිල්ලත් ඇය ම වීම මට ම පුදුමයක් ගෙන දුන්නේය. එදා පාන්දර උයන්නටවත් ඉස්පාසුවක් නොතිබුණායින් උදේට දවල්ට බත් පත් රහිතවම පාන්දර හතර හමාරේ කොළඹ කෝච්චියට නැඟුනෙමි.
හවස ස්ටේසමට එන විට තිලකෙ අයියා “ඉසංක මල්ලි අද නම් දවසම මේ ලෝකෙ නෙවෙයි හිටියේ” යැයි සිනහා වෙමින් කියනා විට ඒ සිනාවට එකතු වෙනවා මිස වෙන යමක් නොකෙරුවෙමි. එකම ප්‍රාර්ථනාව වූයේ අදත් ඇය දැක ගැනීමට හැකි වේවා යන්නයි. පුරුදු පරිදි අදත් කෝච්චිය ප්‍රමාද වෙන හැටියකි. එය නම් කදිම ආරංචියකි. “ඉසංක මල්ලි එහෙනං තිස් එක හවස පාටියට ඉන්නවනේ?” තිලකේ අයියලාගේ වසරාවසාන පාටිය ගැන මේ අසන්නේ සිය වෙනි වතාවට විය යුතුය.
“කියන්න බෑ අයියේ, කෝච්චියට එන්නත් තියේ නේ.”
“එහෙම කොහොමද මල්ලි, කොහොමත් එදාට ප්‍රොජෙක්ට් වැඩ නෑ, නිකම්ම වගේ තමයි. දවල් ඔපීසියේ කෑමට පස්සේ අපි සෙට් වෙනවා හැම අවුරුද්දෙම, ආයේ ඉතිං පරක්කුවක් නෑ, අපිත් කලිංම ගෙවල් වලට යනවා පොඩ්ඩක් කාලා බීලා. අවුරුදු ලබද්දි ගෑනි ලමයි ලඟ නැත්තං වගතුවක් නෑ මල්ලි. ඉසංක මල්ලිට කෝච්චිය මඟ ඇරුනොත් අපේ ගෙදර ඉමු. ඔය ඉඩ තියෙන හැටියකට බැරියැ.”
“හරි අයියේ බලමුකෝ”
“බලමු කියලා බෑ කොල්ලො, තව දවස් දෙකයි, එහෙනං පරිස්සමින්, බුදු සරණයි”
මම පිම්මේ කුසුමා අක්කගේ කඩල කරත්තයටත් එතනින් ස්ටේසමටත් දිව්වෙමි. කඩල කන්නට ඉස්පාසුවක් නැති නිසාවෙන් ඊයේ ඇය ආ දෙස බලා උන්නෙමි. නුවර කෝච්චිය ස්ටේසමට එනතුරුත් ඇය ආවේ නැත, නොසෑහෙන්න හිත රිදුනද හෙට ගැන බලාපොරොත්තුවෙන් මම කෝච්චියේ එල්ලුනෙමි.
මා පිටුපසින් තවත් කෙනෙකු එල්ලෙනවා යැයි දැණුන හෙයින් මම පිටු පස බැලුවේත් කෝච්චිය ඇද්දේත් එකටය. එක බැල්මෙන් ස්ටේසමේ යකඩ පුටුවකට හේත්තු වී උන් ඇයව මම දුටුවෙමි. මා පාර දිහා බලා උන්නාට ඇය හිඳ ඇත්තේ මට යාර හතක් එහායින් ය. මට චැක් කියවිණි. ඊයේ මෙන් ම අද ද ඈ යමක් දෝතින් ම පපුවට තබා බදා ගෙන උන්නාය, කෝච්චිය වේගවත් කල නිසා මට එය පැහැදිලි නොවුණු අතර මට පිටුපසින් සිටි කෙනා, “මල්ලි දඟලන්නේ නැතුව හිටපන්කෝ කොටුවට යනකං” යැයි කියවන්නට විය.
ඊලඟ දිනයේ කුසුමා අක්කගේ කඩල කරත්තය අසල සිටියදීම කෝච්චිය ප්ලැට්ෆෝම් එකට ආවේ ලෝක පුදුමයක් ලෙසිනි. කිහිප දෙනෙකුටම කෝච්චිය වැරදුණු අතර මමත් එයට නැඟුණේ අන්තිම විනාඩියටය. එදාත් මට ඇයව මුණ නොගැසුණු අතර හිතේ රික්තයක් ඉතිරි විය. එලෙස වසරේ අවසාන දිනය එලඹිණි, පුරුදු පරිදිම රාත්‍රී තැපැල් දුම්‍රියේ හඬට ඇහැරුණු මම ඇඳේ වාඩි වී කල්පනා කලේ අද කෙසේවත් ඇයව දැක ගැනීමට නොහැකි වන වගයි. වසරාවසාන සාදය කෙසේ අවසන් වේවි දැයි නිච්චියක් නැත.
නොසිතූ පරිදි එය අනර්ඝ දිනයක් විය. සියළු දෙනා හටම ව්‍යාපෘතිය භාර ඉහළම නිලධාරියා සමඟ වදනක් දෙඩීමට හෝ හැකි වූ අතර, ඔහු අතින් මුදල් ත්‍යාග ලබා ගැනීමටද සියළු දෙනා වාසනාවන්ත විය. දිවා ආහාරය අවසානයේ කාර්මික නිලධාරීන් සහ සේවක මඩුල්ල තිලකෙගේ සාදයට පිටත් වූ අතර එය තරමක් ඈතින් වූ පරණ ගොඩනැඟිල්ලක සංවිධානය කර තිබුණි.
වැඩි කාලයක් යන්නට මත්තෙන් බෝතලය දෙක හිස් වන්නටද තිලකේ අයියා ඇතුළු පිරිසක් අතිශය දොඩමළු වන්නටද විය, එකම රස ගුලාවක් වුණු මේ හමුව වැඩ බිමේ දී මුණ ගැසුණු බොහෝ දෙනාගේ මෙතෙක් කල් දැක ගන්නට නොයෙදුණු රසවත් පැතිකඩක් දැන ගන්නට ඉඩ සැලසුව වගක් මට දැනුණි. පියාණන්ගේ අවසන් කාලයේ මිතුරන් හමුවීමට ඉස්පාසුවක් නොතිබුණු හෙයින් මෙය කලකට පසු මට දැණුනු සතුටුම මොහොත විය. වැඩ බිමට ආ මුල් දවසක ග්‍රයින්ඩරයකට ඇඟිලි තුනක් කැපී ගිය සෝමරත්නත් පැමිණ සිටීම සැමටම සතුටක් විය, නමුත් තිලකේ අයියාට එය මාව විහිළුවකට ගැනීමට අවස්ථාවක් දෙන්නක් විය. ඒ, කැපුණු ඇඟිලි තුන සමඟ ලේ පෙරමින් ආ සෝමරත්නට කලියෙන් මා සිහි නැතිවී වැටුණු නිසාවෙනි. මට කුඩා කල සිට ලේ දකින්නට නොහැකිය. කාලය ගතව ගොස් රෑ බෝ වී ඇති වග මට හැඟුනේ ද ඔරලෝසුව දෙස ඇස් යොමු වුණේ ද එක විටකය. රාත්‍රී නවය පසු වී ඇති වග ඔරලෝසුව පවසයි. තිලකේ අයියා එක්වරම අඩේ මල්ලි නවයත් වෙලා නේද, යමං ඔහොම්ම අපේ ගෙදර කීවේ ය.
රෑ හමුවෙන් පසු ත්‍රී රෝද රථය පැදවීමට නොහැකි වග කලින් ම දැන සිටි තිලකේ අයියා එදා වැඩ බිමට ආවේ 120ක නැඟීය, මේ රෑ බස් නොතිබුණු හෙයින් මම ඔහුද වත්තම් කරගෙන ත්‍රී රෝද රථයකටම නැඟීමි. තිලකේ අයියා පැටලෙමින් කියවූ මාර්ග ලකුණු ඔස්සේ මමත් ත්‍රී රෝදකරුත් අවසානයේ තිලකේ අයියාගේ කොහුවල නිවසට එනවිට දහය පසුවීය. ත්‍රී රෝද රථයේ ශබ්දයට ජනේලයෙන් ඔළුව දැමූ තිලකේ අයියාගේ බිරිය කලබලෙන් පිටතට ආවේත් තිලකේ අයියා නැවැත් වූ ත්‍රී රෝද රථයෙන් බැස වමනය කරන්නට ගත්තේ ද එක විටය. බිරිය තිලකේ අයියාගේ පිට අත ගාමින් ඔහුට සහය විය, මෙතෙක් වේලා අතේ ඔතාගෙන තිබූ කඩදාසි බෑගයක් තිලකේ අයියා බිරියට දුනි, අද අපට බෝනස් දුන්නා නෝනේ, ඔන්න මං නෝනෙ ආස කොහොලාන බේකර්ස් කේක් එකක් ගෙනාව. මේ දෙස බලා හිඳි මම පියවි ලොවට ආවේ ත්‍රී රෝද රථයේ රියදුරු “මහත්තයාව කොහෙන්ද දාන්න ඕනි” කියා මගෙන් ඇසූ විටයි.
“ආ මේ මල්ලිත් මෙතෙන්ට, මල්ලි ඕකගේ සල්ලි පියවලා දාන්න, අනේ තැන්කූ වීල් මල්ලි මගේ විකාර පාරවල් අහගෙන මෙහෙටම ගෙනත් දැම්මට. ඊලඟ අවුරුද්ද ජය වෙන්න ඕනි එහෙනං” කියූ තිලකේ අයියා සැලියුට් එකක් දැමීය.
එකවරම ආ හිතුවක්කාර සිතුවිල්ලකට මම “නෑ තිලකේ අයියේ රෑ අලුත් ට්‍රේන් එකක් දාල, මං මෙහෙම්ම කොටුවට යනවා” කිව්වෙමි.
නිතර තිලකේ අයියාගේ කටින් පිට නොවෙන තරමේ වචනයකුත් සමඟ “එහෙනං මොකටද බං මෙහෙ ආවේ, ඉක්මනට ට්‍රේන් එකට යමං. නැත්තං මෙහෙ ඕනි තරං ඉඩ තියේ ඕං, නැද්ද නෝනේ” කියමින් බිරියට වත්තම් වූයේ ය. තිලකේ අයියාගේ බිරිය අසරණ බැල්මක් ඔවුන්ගේ නිවස දෙස හෙලූ අතර ඔවුන් දෙදෙනාටවත් ජනේලයෙන් ඔළුව දමාගෙන ම දෙස බලා හුන් පොඩි එවුන්ටවත් ඉඩ නැති මේ නිවසේ කොහෙත්ම මට ඉඩක් නැති වග තේරුම් ගතිමි.
“නෑ තිලකේ අයියා, කිසි ප්‍රශ්නයක් නෑ” මම ත්‍රී රෝද රථයට නැඟුනෙමි.
“මල්ලි මාව කොටුවේ ස්ටේෂන් එකට දාන්න” කියමින් මම රියැදුරු මහතාට තට්ටුවක් දැමුවෙමි.
කොහුවල සිට කොටුවට යන තුරුම මට නින්ද යන්නට ඇති, රියැදුරු “මහත්තයා අපි කොටුවට ආවා” කියන තුරු සිදු වූ කිසි දෙයක් අද ද මට මතක නැත. මුදල් ගත් ත්‍රී රෝද රථ රියැදුරු “මහත්තයාට නං වැදුණේ තැපෑලෙන් නේද?” කියමින් ඉගිල්ලුණි.
“පස්වෙනි වේදිකාවේ ඇති ගාල්ල බලා යන අවසාන දුම් රිය පස්වරු 10.35ට කොළඹ කොටුවෙන් පිටත් වේ”, කොහුවල සිට ත්‍රී රෝද රථයෙන් එනතුරු සිතුවිලි රහිතව උන්නු මාගෙ නෑඹුල් සිතට ආ අදහසකට අනිච්චානුගව මෙන් අවනතව මම කෝච්චියේ එල්ලුණෙ මි.
ඉනික්බිති වෙනදාට කෝච්චියට ගොඩවන ස්ටේසමෙන් දණිපණි ගා බැස ගතිමි. මා සමඟ කෝච්චියෙන් බැස්සේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි, ඔවුන්ද එක්වරම අතුරුදන් වූ හැඩකි. පඩිපෙලින් එබී බැලූ විට තිබුණේ බැනරයකින් සුරුවමට ඔතා දම්වැලකින් පඩිපෙල් කණුවට බැඳ තැබා තිබුණු කුසුමා අක්කාගේ කඩල කරත්තය පමණි, එය පාමුල කෝච්චි ශබ්දයට නින්ද කැඩුණු බල්ලෙකු වැතිර හුන්නේ ය. ටිකට් කවුළුවත් පොඩි ඔපිසීයත් අඟුළු දමා වසා තිබිණි, කොටුවේම සිටියා නම් හොඳයි සිතමින් මම ප්ලැට්ෆෝමයට ආවෙමි. එයද වොට් හතලිහක බල්බයකින් පමණක් ආලෝකමත් වී තිබුණු නිසා මහා මූසල ගතියක් හාත්පස තිබුණි. මහා අන්ධකාරය නිසා මුහුදේ ඉමක් කොනක් පෙනෙන්නේ නැත, ඉඳ හිට නඟින රැල්ලක සුදු පැහැය පමණක් දකිමි. මට ඇයව මතකයට නැඟුණි. අලුත් අවුරුද්දකට පැයකටත් අඩු කාලයක් පමණක් තිබියදී ඈ කොහේ ඉන්නවා ඇත් ද? මා මෙන් ම තනිව ජීවිතය විඳමින් ඉන්නවා ද? නැතහොත් විඳවමින් ඉන්නවා ද?
ඉස්ටේසමට ආසන්නයේ පැල්පත් නිවාස දෙසින් සිහින් ගීත රාවයක් ඇසෙන්නට විය.
“ඔය දෑත මාගේ දෑතේ — සතපා ගෙවූ අතීතේ
දෙදෙනා නොවේද දන්නේ — සිත දැන් තමයි සිතන්නේ”
නිදිමත ගතියක් තිබුණාට දොළහ වෙනතුරු ප්ලැට්ෆෝම් පුටුවක ඇල වන්නට නොසිතුවෙමි. තාත්තා දුන් පොත කියවනවා දැයි සිතා පොත එළියට ගන්නා විටම කුසුමා අක්කාගේ කඩල කරත්තය පාමුල හුන් බල්ලා බුරන්නට විය. නොනවතින බිරීම් ශබ්දයට පඩිපෙල දෙසට එබුණු මා දුටුවේ ඇය සෙමින් පඩිපෙල නඟින ලෙසකි. ඇය මා දෙස බැලුවේත් මම අහස දෙස බැලුවේත් එක විටක විය යුතුය. “මේ මොන තරමේ වාසනාවක් ද?”
“අද කෝච්චිය පරක්කු වුණා ද ? දෙමල ඌරුවට ඇය විමසුවාය.
“මිස් මගෙන් ද ඇහුවේ” ඇයගේ ප්‍රශ්නයෙන් පුදුම වූ මම ඇසුවෙමි.
“ඉස්ටේසමේ වෙන කවුරුත් නෑ නේද ? “ ප්‍රශ්නයට ප්‍රශ්නයකින් උත්තරය…
මට සිනා නඟුණි. “ඔව් මට පරක්කු වුණා, ඒත් ඔයා මෙතන මොකද ?”
“මෙතන තමයි මම ඉන්නේ.” ඇය සිනාසෙමින් බිම බලා ගත්තාය. “වෙනදට 10.45 ගිය ගමන් ම මෙතනට එනවා, ඒත් අද බැරි වුණා.”
“මෙතන ඉන්නේ ? පරිස්සම් නෑ නේද ?” මුවින් පිට වුණු ප්‍රශ්නය, ඈ අභිසුරු ලියක් ද ? මගෙ හිතේ ඇතිවුණු ප්‍රශ්නය.
නැවතත් ඇය සිනාසෙමින් බිම බලා ගත්තා ය.
ඇයව අපහසුතාවයට පත් වේවි යැයි සිතුණු නිසාවෙන් “මිස් වෙනද විදිහටම ඉන්න, මං මේ හරියෙන් ඉන්නම්, බය වෙන්න වෙන්න එපා” මම කිව්වෙමි.
“මම මහත්තයාට බය නෑ” කියමින් ඈ ඉස්ටේසමේ අනික් කෙලවරට ඇදී නොපෙනී ගියා ය. ඇය කාන්තා විවේකාගාරයට යන්නට ඇතැයි මට සිතුණි.
“මම මහත්තයාට බය නෑ” ? එතකොට එයා මාව දන්නවද ? ඒ කොහොමද ? මෙතෙක් වේලා තිබුණු හිතේ නිදහස කීතු කීතු වී ගිය හැටියකි. ඇය නැවතත් ඒවිද ?
අලුත් අවුරුද්දට තව විනාඩි පහකි.
ඇය අඳුරෙන් මතු විය.
තෙත කොණ්ඩය, නැවුම් ඇඳුම්, තිලකය.
“අවුරුද්ද ලබනවා නේද ? ඔහොම්ම දකුණු පැත්තේ අහස බලන්න. ගෝල් ෆේස් එකේ ඉඳන් මල්වෙඩි දානවා ලස්සනයි.”
“හා” මට දකුණු අහසක් බැලීමට අවැසි නැත. මුළු අහසම ඇයගේ මුහුණේය.
ඇය සැබවින් ම ඉතාම ශෝබනය.
ඇය කිව්වා සේ ම මෙතෙක් වෙලා ඇසුණු ගීත රාවය ද පරයන අන්දමට රතිඤ්ඤා, අහස් කූරු හඬ, මල්වෙඩි හඬ ඇසෙන්නට විය.
“දොළහයි, සුබ අලුත් අවුරුද්දක් !” ඇය මල් වෙඩි පිරුණු අහස දෙස බලමින් කීවා ය.
සුබ අලුත් අවුරුද්දක්… මට ඇයට හාදුවක් දෙන්නට උවමනා විය, එහෙත් එය නොහිඹිනා ක්‍රියාවකි. ඔළුව කම්මල සේ ය.
“ඔය බදාගෙන ඉන්නේ මොකද්ද ?” මට කතාවක් පටන් ගන්නට ඕනෑ විය.
ඈ සෙමින් මෙතෙක් වේලා බදා හුන් පොදිය මට පෙන්වූවා ය. මීට දශක දෙකකට පමණ පෙර ප්‍රසිද්ධව තිබූ “සෝමසිරි” බෝනික්කෙක්.
“හහ් හහ්… මොකෝ තාම බෝනික්කො නලවන්නේ” මම සිනාසුනෙමි.
“මේ මගෙ පුතා”, ඇය කීවා ය.
“හොඳයි හොඳයි. අපේ ගෙදරත් තියේ ඕකක්.. වෙලාවක ගෙනත් දෙන්නම්, ඔයාට එතකොට නිවුන්නො ඉන්නවා”. මම නැවතත් මහ හඬින් සිනාසුනෙමි.
බෝනික්කා දෙස තිබූ ඇගේ දෙඇස් ගැස්සෙනු දුටුවෙමි.
“එපා”
“හරි එහෙනං, ඒ බෝනික්කා මං පොඩි කාලෙ ඉඳන් ගෙදර තිබ්බේ ඒකයි දෙන්නං කිව්වේ, කාටවත් ඕනි නෑ දැන්.”
අප දෙදනා ප්ලැට්ෆෝමය මත දුම් රිය පාරට කකුල් දමා වාඩි වී බොහෝ වේලා කතා කරමින් උන්නෙමු. පැරණි දේ ගැන ඇගේ දැනුම පුදුමාකාරය.
“මහත්තයා පොත් කියවනවද ? “ ඇය මගෙ අතේ තිබුණු පොත දෙස බලමින් ඇසුවාය.
“ආහ් ඔව්, මේක අපේ තාත්තගේ. කියවන්න ගත්තා විතරයි, එක පිටුවක් වත් කියවන්න බැරි වුණා…”
“රූෂ්ඩිගේ Midnight’s Children නේද ?”
ඇගේ ඒ ප්‍රශ්නයෙන් මා ඇය දෙස හොඳින් බැලුවෙමි.
“කොහොමද දන්නේ ? පොත් කියවනවද ?”
“ඉස්සර කියෙව්වා” කියමින් පොත මවෙතින් ගත් ඈ පිටු පෙරළන්නට වූවා ය.
එක්වර ම ඇය පිටු පෙරළීම නැවතුවා ය.
“මොකෝ කට්ටියට පොත් පෙරලපුවා මතක් වුණාද ?”
එ දෙස විනාඩි තුනක් පමණ බලා සිටි ඈ මට වත්තම් වී හුන් තැනින් නැඟිට්ටා ය.
ඇගේ මුහුණ මහා දුකින් පිරී ගියෙත් ඇගේ බෝනික්කාවද තුරුළු කරගෙන කාන්තා විවේකාගාරයට ඇය දිව්වේත් එක මොහොතකය. ඒ මුහුණ දෙස බලා නොසිටියා නම් දුකින් පිරෙන මුහුණ අත්හැරෙන්නට තිබුණි.
විහිළුව දුර දිග ගිය සෙයකි. මම කාන්තා විවේකාගාරය දෙසට ගොස් ඇයට කතා කලෙමි. ඇය දොර වසාගෙන ය. නමවත් නොදැන සිටි නිසා, සමාවෙන්න කියනවා හැරෙන්නට වෙන යමක් කියා ගත නොහැකි වුණි.
ටික වේලාවකට පසු ඈ,
“මහත්තයා මට පැනඩෝල් කාඩ් එකක් ගෙනත් දෙනවද” ඇසුවාය.
එවෙලේ ඇය වෙනුවෙන් ඉර හඳ පවා ගෙනැවිත් දීමට සුදානම් ව සිටි මා, ඉන්න මං ඉක්මනට ගෙනත් දෙන්නම් කිව්වෙමි. පඩිපෙලින් පැන අසල තිබූ ඖෂධ හල සොයා ගියෙමි. මා එන විට එතෙක් වේලා දැල් වී තිබූ බල්බයද ඩිම් වී තිබුණු අතර දුරකථනයේ ටෝච් එළියෙන් ඈ සිටි විවේකාගාරයට අසලට ගියෙමි. දොර හැර දමා තිබුණු මුත් කිසිම හැලහොල්මනක් නැත.
විවේකාගාරය තුළට නොගොස් පැය කාලක් පමණ ඇයට කතා කලද කිසිම ප්‍රතිචාරයක් නොවුණු හෙයින් මා සමාව ඉල්ලමින් ම විවේකාගාරයට ඇතුළු වුණෙමි.
ලේ විලක් මැද ඇය වැටී උන්නාය. එක් වරම මට කෑ ගැසුණු මුත් ශබ්දයක් පිට නොවුණි. උපන් දා සිට ලේ දැකීමට බිය වූ මා විවේකාගාරයෙන් එළියට පැන්නෙමි. එළියට පැන ගත් වහාම මා දුටුවේ අසල කණුවක ගැට ගසා තිබූ ඇගේ අත තිබූ බෝනික්කාය. එය කීතු කීතු වී ලේ වැක්කෙරෙමින් තිබූ අතර බෝනික්කා හිස ඔසවා මා දෙස බලා දෑත් දිගු කලේ ය.
පසුදින පාන්දර දුම් රිය සේවක මහතෙකු කතා කරන තුරුම මම සිහිසුන් ව සිටියෙමි.
සිහි එළඹි වහා කාන්තා විවේකාගාරය දෙසට ගිය මුත් එය පිටින් අඟුළු ලා තිබුණි.
මා එදෙසට යනු දුටු දුම් රිය සේවක මහතා,
“ඉන්න සර් මං පිරිමි විවේකාගාරය ඇරලා දෙන්නම්, රෑට මෙව්වා අඟුළු දාලා යන්නේ, නැත්තං එක එකා මේකෙ ලඟිනවා. මහත්තයාට නං ඊයෙ වැඩිවෙලා නේ. මං කිව්වේ මේ හිඟන්නො එහෙම” කීවේ ය.
“එහෙමද, හැබැයි ඊයේ ගෑණු කට්ටියගේ එක ඇරලනේ තිබ්බේ.”
“හෑහ්, මහත්තයා ඒකට ගියා ද ?”
“නෑ නෑ, මං දැක්කා රෑ ලේඩි කෙනෙක් ඕකට යනවා” මම බොරුවක් සමඟ ඇත්තක් කීවෙමි, ඇත්තටම ඈ මිය ගොස් සිටී නම් මම ප්‍රධාන සාක්ෂිකරු වනු ඇත.
“මං හිතන්නේ මහත්තයා විතරයි එයාව දැකලා මෙහෙම ඉන්නේ. අපිත් දහයයි ගානේ කෝච්චිය ගිය ගමන් වහලා කරලා යනවා දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝගයකට. අතේ බෝනික්කෙකුත් හිටියා නේද ?”
“ඔව්… මොකද්ද ප්‍රශ්නේ ඒ මනුස්සයා එක්ක”
“ඔය අර අසූ එකේ කලබල කාලෙදි මෙතන නෝනා කෙනෙකුයි පුතයි මැරුණු සිද්ධියනේ. ඒ නෝනා තමා තාම කට්ටියට පෙන්නේ රෑට, හැමදාම නෙවෙයි. නිවුන්නු වෙච්චි පොඩි දෙන්නට උණ නිසා ඒ නෝනගේ හමුදාවේ සර් ගිහින් තියේ එක පුතෙක් අරං ලඟ ෆාමසියකට, අනික් පුතා නෝනා එක්ක මෙතන විවේකාගාරෙ ඉද්දි තමයි මරලා දාල ගිහින් තිබුණේ. ළමයා මේ කණුවක ගැට ගහලලු උන්නේ. නෝනා දෙමල. ඔය නෝනා වැඩ කරපු පුස්තකාලෙ ගිනි තිබ්බ වෙලේ හමුදාවේ මහත්තයා තමයි කට්ටියගෙම පණ බේරගෙන ඇවිත් තිබුණෙ ගමට යන්න.”
මට නැවතත් ක්ලාන්ත ගතියක් දැණුනු නිසා “වතුර නැද්ද “ යැයි ඔහුගෙන් ඇසුවෙමි.
“ඉන්න මහත්තයා, අන්තිමටම ඔය නෝනව දැක්කේ අපෙ ඉස්ටේසමට අලුතෙන් ආව සර් කෙනෙක්, එයා නං පපුවෙ අමාරුව හැදිලා එක්ක ගියෙ. මහත්තයා ඔයින් ගියා ඇති. ඒ නෝනගෙ මහත්තයා සෑහෙන කාලයක් යනකං මෙතනට ඇවිත් දාන මාන දීල තියේ, දැන් අවුරුද්දක දෙකක ඉඳලා ආවේ නෑ, ඊට පස්සේ තමයි ඔය කරදරේ ආවේ. ”
“ඔය නෝනාව පේන දාට හවසට එහා පැත්තේ කණුවේ බැඳපු බෝනික්කෙක් පේනවා සමහරුන්ට. ඊයෙත් මහත්තයෙක් හොම්බ දිග කැමරාවකින් ලයිට් කණුවේ ෆොටෝ ගහනවා දැකලා තමයි අපිත් ඉස්ටේසම කලින් ම වහලා ගියේ අන්තිම කෝච්චියත් එන්න කලින්, අපිත් හිතුවා ඒ කැමරා මහත්තයාට බෝනික්කව පේන්වා ඇති කියලා අපිට නොපෙනුනාට”
“මහත්තයාට කොහෙටද යන්න ඕනි ?”
“නුවරට”
“ආහ් දැන් කෝච්චියක් ඒවි කොටුවට, 5.55 බදුල්ලෙ එකේ මහත්තයට නුවරට යන්න පුලුවන් එතනින්, මහත්තයාගෙ වෙන්න ඕනි බෑග් එකයි පොතකුයි ප්ලැට්ෆෝම් එකෙ තිබුණා, ගත්තනං හරි සෙනඟ පිරෙන්න කලින්”
වතුර වීදුරුව එක හුස්මට අවසන් කල මා මාගේ බෑගයද කරට දමා ගෙන ඊයේ අප වාඩි වූ තැන වැටී තිබුණු පොත අහුලා ගතිමි. එහි තිබී වැටුණු ෆොටෝවකි.
උඩුයටිකුරුව බිම තිබූ ෆොටෝව අහුලා ගත් මම එහි ලියා තිබූ දෙමල අකුරු අමුණා කියවා ගතිමි
“තීපන් ෆොටෝ — යාපනය”
අනික් පස හැර වූ විට එය කලු සුදු ෆොටෝවක් වූ අතර තාත්තා මනාල ඇඳුමින් සැරසී ඇය හා උන්නේ ය.
ප.ලි : නස්ලිගේ ට්වීට් කරපු ෆොටෝවකට කතාවක් ලියන්න ඕනි වෙලා තිබ්බට හරි හෙමින් ලිව්වේ. අන්තිමේ අද ඉවර කලා…. මං හිතන්නේ නස්ලි තරම් කවුරුත් කොළඹ ජීවිතේ ලස්සනට දකින්නෙ නැතුව ඇති…
පොත ඇතුලේ ෆොටෝ එක ආවේ AyshMarQ ගේ ට්වීට් එකකින්