අයිතිය

Milani B.
9 min readJan 4, 2021

--

හදිස්සියේ දැණුනු මද සීතල නිසාවෙන් දෙනෙත් නො ඇරම මම ඔහුව සෙව්වෙමි. පෙරදින රාත්‍රියේ මා තුරුලට වන් ව සිටි ඔහුව සෙව්වෙමි. අත පොවන මානයේ ඔහුව නොදැනුණු නිසාවෙන් මම ඇස් අරිමි. ඔහු නැත. නාන කාමරය දෙසින් වත් හඬක් ඇසේ දැයි දැන ගනු රිසියෙන් මම කන් අයා මිනිත්තුවක් පමණ සිටියෙමි. නැත. සියළු දේ නිසල ය, නිහඬ ය.

වසර ගණනාවක ආදර අන්දරයකින් පසු මා පිය ආශිර්වාදයෙන් විවාහප්‍රාප්ත වන්නට ද වාසනාවන්ත වුණු අප මේ ගෙවන්නේ විවාහ මංගලෝත්සයෙන් සත් වන දිනය ය. ම පියාණන්ගේ අතිජාත මිත්‍රයෙකු වූ ඩග්ලස් අංකල්ගේ තේ වත්තේ බංගලාව අප වෙනුවෙන් විවෘත වූයේ ත්‍යාගයක් ලෙසය.

“මං වෙඩින් වලට යන මනුස්සයෙක් නෙවෙයි කියලා අප්පච්චි දන්නවා, ඒ නිසා මං එන්නේ නැති එක ගැන ලොකුවට හිතන්න එපා දුවා. හැබැයි අනිවාර්යෙන් ඔයාලා මංදාරම් නුවර පැත්තේ එන්න, මගේ තේ වත්තේ බංග්ලෝ එකේ ඉන්න බැරියැ දෙන්නට. අප්පු ඉන්නවා ආවතේව වලට, සුමනා ඉන්නවා ඕනි දෙයක් කටට රහට හදලා දෙන්න” ඩග්ලස් අංකල් මතක ඇති කාලයක සිට මට කතා කරන්නේ දුවා ලෙසය. එම ආමන්ත්‍රණයට සීමා රහිතව මමද ආසා කෙරුවෙමි.

“දුවා එන දවස විතරක් මට කියන්න. මට ඔය හාදයාව බලන්නත් ලොකු ආසාවක් තියේ”

විශ්ව විද්‍යාල ජීවිතයේ මා ලද හොඳම ත්‍යාගය වූ ඔහුත් මමත් අතිනත ගත්තේ පවුල් වල මහත් වූ ආශිර්වාද මධ්‍යයේ බව දැනු දු මම ආසාවෙන් සිහි කරන්නෙමි. ජීවිතේ සියළු දෑ හරියාකාරව සිදුවන වගක් මට දැනෙන්නට පටන් ගත්තේ ඔහු සමඟ ආදර අන්දරය පටන් ගත් කාලයේ සිටය. දෙවනි පන්තියේ පලමු පෙල උපාධියක් මට ද ඔහුට දෙවනි පෙල උපාධියක් ද හිමි වූ අතර මම රැකියාවකට අත් පොත් තබන්නේ ඔහු රැකියාවට ගොස් මාස දෙකක් ගිය තැනය. ඉන්පසු එළඹියේ අපගේ මහා ප්‍රාර්ථනා ගොන්න සපුරා ගන්නට යෙදුණු විවාහ මංගලෝත්සවයයි. එයද මා කුඩා කල ප්‍රාර්ථනා කල අයුරෙන් ම සිදු වූ අතර අප සියළු නෑ දෑ හිතවතුන් මිතුරන් ඉතාම සංතෝසයෙන් අපගේ දිනය භුක්ති විඳි ආකාරය සතුටු සිතින් සිහි කරමි.

මන්දාරම් නුවර හීතල තවදුරටත් පොරෝන වලින් පමණක් වැළකිය නොහැකි වූ නිසාවෙන් මම නැවතත් ඔහුව සොයන්නට යෙදුනෙමි. නැත. කිසිම හෝඩුවාවක් නැත. අකැමැත්තෙන් වුව ද ඇඳෙන් බැස පොරෝනම ඇඟ වටා ඔතා ගතිමි. ඔහු සොයා යා යුතුය. පෙර දා ඔහු ආසාවෙන් නරඹමින් සිටි බංගලාවේ මිදුල කෙලවරට පෙනෙන කුඹුරු යාය දෙසටවත් ගියා දෝ යැයි සැකයක් මට තිබුණි. ඔහු කීවේ ඒ කුඹුරු යාය මැද තිබෙන ගරා වැටුණු ගොඩනැඟිල්ල පොඩි ඉස්කෝලයක් වගය. ජීවිතේ පළමු වරට මන්දාරම් නුවරට පැමිණි ඔහු ඒ වග දන්නේ කොහොම දැයි මම විහිළු කලෙමි. නමුදු ඒ මොහොතේ සිට වෙනස් කෙනෙකු මම ඔහුගෙන් දුටුවෙමි. ඊටත් වඩා ඔහු මඳක් කල්පනාබරිත වූ වගක් ද මා දැණුනි.

මගේ සිතුවිල්ල නිවැරදිය, ඔහු මිදුල කෙලවරට වී කුඹුරු යාය දෙස බලා හිඳී. පසු පසින් ගොස් ඔහුගේ බඳ වටා ම දෙ අත් පැටල වූ මා “මොකෝ මේ”යැයි ඇසුවෙමි.

මෙතෙක් වේලා සිටි දැහැන බිඳුනා සේ එක්වරම ගැස්සුණු ඔහු පියවි සිහියට ආ වගක් මට දැනුණි.

“මිහිරි දැන් ද ඇහැරියේ, මම මේ අප්පු කෝපි එකක් ගේන කං ඇවිදින්න ආවා”.

ඇල් වූ කෝපි කෝප්පයක් සුදු පැහැ උද්‍යාන මේසය මත තිබෙන අයුරු මම ඇස් කොනෙන් ඔහුට පෙන්වූයෙමි.

“අපොයි දෙවියනේ, මිනිහා කෝපි එක තියල මටත් නොකියා ගිහින් ද ?” ව්‍යාකූල වූ ඔහු මගෙන් අසයි.

“ඉන්න මං බලන්නම්, මටත් කෝපි එකක් ඕනි. සීතලයි, ඔයාටත් ඕනි ද කෝපි එකක් හරි තේ එකක් හරි ?” මම ඇසුවෙමි. “කෝපි හොඳයි” ඔහු පිළිවදන් දුන්නේ ය.

අපේ කාමරය දෙසට ඇදුණු මා නැවතත් ඔහු දෙස බැලුවේ ඔහුත් මා දෙස බලා හිඳී යැයි පුංචි බලාපොරොත්තුවකිනි. නැත, නැවතත් ඔහු පහල කුඹුරු යායේ ගරා වැටුණු ගොඩනැඟිල්ල දෙස බලා සිටී. මුව දොවාගෙන බංගලාවේ මුළුතැන් ගෙය දෙසට යමින් “සුමනා, අප්පු” යැයි ඔවුන්ට කතා කලෙමි.

චීත්තයේ තෙත අත පිහමින් දිව ආ සුමනා

“අනේ අපේ නෝනා ඇහැරියා ද ? අප්පු නම් කඩේට ගියා”.

“ආහ් ඒකට කමක් නෑ, අපිට කෝපි කෝප්ප දෙකක් ගත හැකිද ?”

“අප්පු පුංචි මහත්තයාට නම් කෝපි ගෙනිච්චා, පුංචි නෝනා ඇහැරෙන වෙලාවක් දන්නේ නැති නිසා සෑදුවේ නෑ”.

“ආ කමක් නෑ, මහත්තයගේ කෝපි එක නිවිලා, ඒකයි.”

“ඔව් ඔව් අප්පු කිව්ව කෝපි එක ලඟින් තියල කතා කලත් අර පහළ කුඹුරු දිහා බලං හිටියා මිසක් වචනයක් කිව්වේ නෑ කියලා. ආපු දා අපි කරන පොඩි දේටත් ස්තූති කල අපූරු මහත්තයට මක්කාවක් වෙලාද කියලා අප්පු හිත හිත හිටියේ”

“ ආහ් මහත්තයා මේ පැත්තට ගොඩක් ආසා වෙලා, ඒකයි සුමනා ඒ. ගණං ගන්න එපා.” එලෙස සුමනාගේ සිත හදන්නට උත්තරයක් දුන්නත් මගේ සිතත් මද පමණට කලබල වී ඇති වග දනිමි.

කෝපි කෝප්ප දෙක ලැබෙන තුරු සුමනා සමඟ ආ ගිය තොරතුරු කතා කරන්නට ගත්තේ මේ ව්‍යාකූල ගතිය මඟ හරවා ගන්නට ය. සුමනා ඩග්ලස් අංකල්ගේ බංගලාවේ උදව්වට එකතු වී ඇත්තේ මීට වසර දහයකට පෙර බවත් එය අප්පුගේ හතලිස් වසරක සේවයට සාපේක්ෂව නොගිණිය හැකි තරමේ කුඩා සේවයක් ලෙස ඇය සළකන බව මට දැනුණි.

කෝපි කෝප්ප දෙක සුමනා අතින් බලෙන් මෙන් ගෙන මම නැවතත් ඔහු සිටින දිශාවට ඇදුණේ සුමනා “අනේ අපේ නෝනාගෙන් වැඩ ගන්නව කියලා ඩග්ලස් මහත්තයා බනීවි” යැයි ඇය කියවද්දී ය.

මට අවැසි වූයේ ඔහු සමඟ මදක් තනි වන්නට ය. ගතින් එකම තැන වුවත් සිතින් සැතපුම් දාහක් ඈත සිටින ඔහුව නැවත ගෙන්වා ගන්නට ය.

තවමත් දුම් දමන කෝපි කෝප්ප ද රැගෙන මා නැවතත් ඔහු වෙත ගියෙමි. ඔහු තවමත් කල්පනාබරිතව පහල වෙල් යාය දෙස බලා ගත් වනම සිටී.

“කෝපි එක ගන්න” මම ඔහුගේ දැහැන බිඳිමින් කිව්වෙමි.

“අද මොකද අපි කරන්නේ” ඔහුට කල්පනා කිරීමට ඉඩක් නොතබමින් මම ඇසුවෙමි.

“මට නම් ලොකු ප්ලෑන් එකක් නෑ මිහිරි, මගෙ හිතට පොඩ්ඩක් අවුල් අර පහල වෙල් යාය දිහා බලද්දි, එතන හරියටම ඉස්කෝලයක් තිබ්බද කියලා අප්පුගෙන් අහන්න ඕනි”

“මට තේරුණා ඔයා අවුලෙන් කියලා, කොහොමත් ඔයා මෙහෙ කලින් ඇවිත් තිබුණේ නෑ නෙ, සමහර විට බලාපු ෆිල්ම් එකක තිබ්බද දන්නෙ නෑ ඔය වගේ තැනක්. අප්පු කඩේට ගිහින්, අපි ආවම අහමු. අනික සමහර විට ඩග්ලස් අන්කල් දවල් මෙහෙ එන්න ඉඩ තියෙනවා කියලා සුමනා කිව්වා”.

“ආහ් ඒක හොඳයිනේ, මම ඩග්ලස් අන්කල්ව හම්බවෙලත් නැ.

“ඒක තමයි, හැබැයි ඔහොම අවුලෙන් හිටියොත් ඩග්ලස් අංකල්ට දුක හිතෙයි දුවා බැන්දේ සයිකො කාරයෙක් කියලා, නරකද සුදු මහත්තයා පොඩ්ඩක් රැවුල එහෙම ට්‍රිම් කරලා මූණ කාරිය හෝදගෙන ආවොත්”.

කළුවන් සමක් තිබුණු ඔහුට සුදු මහත්තයා අකැමැතිම ආමන්ත්‍රණයක් වන අතර පොඩිවට අවුස්සා ගැනීමට කදිම නමකි. සිතූ ලෙසම තරහ මූණක් මවා ගත් ඔහු කෝපි උගුරක් දෙකක් ඉක්මනින් හලා ගෙන මගේ නාසයත් මිරිකා කාමරය දෙසට ඇදුණේය. කොහොමත් කෝපි කෝප්පයක් අහවර කරන්නට අඩ පැයක්වත් ගත කරන මා උද්‍යාන පුටුවකට වී කෝපි කෝප්පය තොල ගාන්නට වීමි.

“මිහිරී….”

මහ හඬින් ඔහු කෑගැසුවේය, කෝපි කෝප්පයද පෙරලා ගෙන මම කාමරය දෙසට දිව්වෙමි. නාන කාමරයේ දොරත් හැරගෙන ඔහු කණ්ණාඩිය දෙස බලා හිඳී.

මම “මොකද වුණේ? යැයි ඇසුවේත් ඔහු හැරුණේත් එක මොහොතේය.

මම ආසම කල ඔහුගේ රැවුලේ අඩක් නොමැත.

“අලුතෙන් ගත්ත ට්‍රිමර් එකේ මැල්ෆන්ශන් එකක්”හැඬුම් බර හඬකින් ඔහු කීවේ ය.

මට සිනහව නතර කර ගත නොහී ඔහුට වත්තම් වුණෙමි.

“දැන් ඉතිං මුළු රැවුලම කපලා දාන්න”.

කිසි දිනෙක රැවුල රහිතව ඔහුව දැක නොතිබූ හෙයින් මටද මෙය අලුත් දෙයක් වනු ඇත.

“ඉන්න හිත හැදෙන්නත් එක්ක දවල්ට ඉස්සො කරියක් හදන්න කියලා එන්නම් සුමනට”.

මේ ලෝකයේ ඔහු ආසම කෑමක් වේ නම් ඒ ඉස්සන් මාලුවයි. ඊට අමතරව ජෑම් පාන් දුන්නොත් ඕනෑම වැඩක් ඔහුට කියා කරවා ගත හැකි තරමට පෙරේතය. තාමත් අඩු නොවූ හැඬුම් ස්වරයෙන් “හා එහෙනං” කිව්වේ පොඩි එකෙකු මෙනි.

ඔහුට නාන කාමරයේ ඉඩ දී මම නැවතත් කුස්සිය දෙසට ගියේ අලුත් ඉල්ලීම සුමනාට දැනුම් දීමටය.

“අපේ නෝනෙ, මොකද වුණේ” සුමනාටද කලබලය ඇසී ඇත.

“අනේ නෑ සුමනා මේ මහත්තය රැවුල වැඩියෙන් කපාගෙන, මුළු රැවුලම කපන්න වෙයි.”

“අනේ, අපූරු රැවුලක් නොවැ මහත්තයට තිබ්බේ”.

“ඒකනෙ, දැන් දුක හිතිලා ඉන්නේ, සුමනට බැරිද තරහ නැතුව දවාලට ඉස්සො මාලුවක් උයලා දෙන්න. මහත්තය ආසයි, ඒකයි.”

“අපෝ ඕක මොකද්ද අපේ නෝනෙ. ඉන්න මං රසට හදලා දෙන්නම් දුක නැති වෙන්නම” මමත් සුමනාත් එකවර සිනා වුණෙමු.

සිනාවේ අගට වන්නට වාහනයක ශබ්දයක් පෝටිකෝව දෙසින් ඇසෙන්නට විය.

“අපේ ඩග්ලස් මහත්තයගේ වාහනේ” සුමනා චීත්තයේ අත පිසිමින් කීවා ය.

“ෂා ! නියමයි, ඉන්න සුමනා මාත් එනවා ඉස්සරහට යන්න”.

ඩග්ලස් අන්කල්ගේ ජීප් රථය බංගලාව ඉදිරියේ නවතා තිබූ අතර අප්පු එයින් එකින් එක බඩු මලු බාමින් සිටියේ ය. රියදුරු අසුනේ සිටි ඩග්ලස් අංකල් මා දුටු වහාම ජීප් රථයෙන් පැන්නේ පුදුම සතුටකිනි.

“දුවා… තව ලස්සන වෙලා මගේ පුතේ, ලෝකෙ ලස්සනම මනමාලි දුවා කියලා අප්පච්චි කෝල් කරලා කියපු එක ගැන මම පුදුම වෙන්නේ නෑ” කියමින් ඔහු මා බදා ගත්තේය.

“අංකල් මාව ගොඩ දවසකින් දැක්ක නිසා වෙන්න ඕනි ඒ, මම ලැජ්ජාවෙන් කීවෙමි”.

“කෝ අපේ කොලු පැටියා” ඩග්ලස් අංකල් බංගලාව දෙස බලමින් ඇසුවේය.

“ඔන්න රැවුල ට්‍රිම් කරන්න ගිහින් වැරදිලා දැන් මුළු රැවුලම කපනවා, තව ටිකකින් එයි අංකල්, අංකල්ව හම්බ වෙන්න හරි ආසාවෙන් උන්නේ”.

“අපොයි, මටත් ඔය ට්‍රිම් කරන වැඩේ කර ගන්න බෑ, අප්පු තමා වැඩ කා….

කතාව එකවරම නැවතුණේත් මම ඩග්ලස් අංකල්ගේ නැවතුණු කතාවට හේතුව විමසන්නට ඔහුගේ මුහුණ දෙස බැලුවේත් අප්පු අතේ තිබූ එළවලු මල්ල අතහැරුණෙත් එකම වෙලාවටය. ඩග්ලස් අංකලුත් අප්පුත් හොල්මනක් දුටුවා සේ ප්‍රධාන දොර දෙස බලා සිටින නිසා, මමත් හැරුණෙමි. සම්පූර්ණයෙන් මුඩු කල රැව්ලෙන් යුක්තව ඔහු කමිස අත හදමින් ප්‍රධාන දොර දෙස සිට පැමිණේ.

“ධර්මලිංගම් මහත්තයා…. “අප්පු පුදුම වූ ස්වරයකින් ඇමතුවේ ය.

ඇමතුමක් කීවාට එය ඔහුටත් හොරෙන් ඔහුගෙන් නිකුත් වූ ඇමතීමකි.

ඇමතීමේ ශබ්දයට අප දෙස බැලූ ඔහු “කවුද අප්පු ධර්මලිංගම් කියන්නේ ?” යැයි අප්පුගෙන් විමසුවේ ය.

එකෙනිහිම ඩග්ලස් අංකල් මා අතහැර පපුව අල්ලා ගත්තේ ය. ඔහු එක්වරම ඩග්ලස් අංකල්ව අල්ලා ගත් අතර අප්පු දිව විත් ඔහුට සහය විය. සුමනා කුස්සියට දිව ගිය අතර ඒ වතුර වීදුරුවක් ගේන්න යැයි ඔහු කෑ ගැසූ නිසා වෙනි. වතුර ඉස පලක් නැති විට ඩග්ලස් අංකල්ව මන්දාරම් නුවර දිසා රෝහලට ද එතනින් නුවර මහ රෝහලට ද රැගෙන ගියේ ඔහුය. ම පියාණන්ද මන්දාරම් නුවරට ආවේ ය, ඩග්ලස් අංකල්ට ය කියා දරු මල්ලන් නෑදෑයන් මම දැනුවත් ව නොසිටි අතර අප්පච්චි කිව්වේ එකම නංගී එංගලන්තයේ ලිවර්පූල් හි වෙසෙන වග ය. නමුත් අපි කිසිවෙක් නොදත් කාරණය වූයේ ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට මාර්ගයකි. අවසානයේ අප්පු අත තිබූ පරණ දුරකථන ලේඛනයක එංගලන්තයේ අංකයක් තිබිනෛ. ඒ නොම්බරය ඔස්සේ ඩග්ලස් අංක්ලගේ නැඟණිය සම්බන්ධ කර ගත්තේද ඔහුය. අවසානයේ ඩග්ලස් අංකල් අපව හැර ගියේත් ඔහුගේ දෑතෙ ය, ඒ සහයට උන් අප්පු විවේකයක් ගන්නා තුරු ඔහු ඩග්ලස් අංකල් ලඟින් උන් නිසාවෙනි.

ලිවර්පූල් හි සිටි නැඟණියගේ ද ඉල්ලීම මත අවසන් කටයුතු කල අතර අප්පච්චී මරණ ගෙදර කටයුතු භාර ව සිටියේ ය, ඔහු ඒ සැම දෙයටම අප්පච්චීට උදව් කලේ ය. අවසානයේ හත් දවසේ දානය ශ්‍රී රාජගිරි විහාරයට පූජා කොට අවසානයේ එහි වානේ බැම්මට හේත්තු වී සිටි මටත්, ඔහුටත් , අප්පච්චීටත්, අප්පුටත් කතා කිරීමට බොහෝ දේවල් තිබිණි.

“කවුද අප්පු ධර්මලිංගම් කියන්නේ” ඔහු අප්පුගෙන් නැවතත් ඇසුවේ ය.

අප්පු මොකුත් නොකියා ම අප්පච්චී දෙස බැලුවේ ඔහුගෙන් උදව්වක් ආයාචනා කරන දෑස් වලිනි.

“මේකයි පුතේ කතාව”.

“ඔය ඩග්ලස් ගේ බංගලාවට පහලින් වෙල් යායේ ඒ කාලේ පොඩි ඉස්කෝලයක් තිබ්බා, ඕකෙ හිටියා ලස්සන ටීචර් කෙනෙක්, ඩග්ලස් ගේ පලවෙනි සහ එකම ආදරේ. ටීචර් හිටියේ මන්දාරම් නුවර සමාධි ප්‍රතිමාව හරියේ ලස්සන ගෙදරක, අම්ම එක්ක. ඩග්ලස්ගේ හොඳම යාළුවා මම වුණාට මෙහෙ හැමදේටම උන්නේ ධර්මලිංගම්. ධර්මලිංගම් ඇසිස්ටන්ට් සුපිරින්ටන්ට්. දෙන්නම උන්නේ බංගලාවේ, අප්පු දන්නවා අපි කොල්ලා කාලේ කොහොම විනෝදෙන් හිටිය ද කියලා.

මම කොළඹින් නයිට් මේල් ඇවිත් මහ පාන්දර නානු ඔයෙන් බහිද්දි ඔය ජීප් එකෙන්ම දෙන්නා එනවා මාව ගන්න, ඊට පස්සේ දවස් දෙකක් විතර හරිම විනෝදෙන් මන්දාරම් නුවර පුරා අපි කරක් ගහනවා. දූගේ අම්ම හම්බ වෙනකං මම ඔය විදිහට සති දෙකකට වතාවක් මෙහෙ. උඩවෙල ප්‍රාථමිකේ ගාව අපි තුන් දෙනා අර ටීචර් යන එන වෙලාවට ටැග් ගැහුණේ අවුරුදු දහ අටේ කොල්ලො වගේ.

අන්තිමේ වදෙන් පොරෙන් අපි ඩග්ලස්ගේ හිතේ තිබ්බ දේ ටීචර්ට කිව්වා. හැබැයි අවාසනාවට ටීචර්ගේ හිත තිබ්බේ ධර්මලිංගම්ට. ඒක අපි දැන ගත්තේ ටීචර්ගේ අම්මගෙන්, අපි ඩග්ලස් ගැන කියන්න ගෙදර ගිය වෙලේ. යාළුවා නිසා ධර්මලිංගම් ට ටීචර්ව දුන්නට ඩග්ලස්ගේ හිතෙන් ටීචර්ව මැකුණේ නෑ, මම ඒක දැනන් හිටියා. දෙන්නට පොඩි පුතෙක් හම්බුණා අසූ දෙකේ ජූනි ජූලි වගේ, හොඳ සංතෝසෙන් එයාල හිටියේ, ඩග්ලස් එයාලව පුළුවන් තරම් මඟ හැරියා, ඒත් මඟ හරින්න බැරි හැම වතාවෙම කිසි වෙනසක් නැතුව එදා තිබ්බ යාළුකමෙන් ධර්මලිංගම් ව පිළිගන්න ඩග්ලස් පහු බැස්සේ නෑ.

කොහොම හරි අපේ කතාවේ අවාසනාවන්තම හරියට ආවා. ඒ අසූ තුනේ. සිංහල දෙමල කලබල මෙහෙටත් ආව. ලැයිම් වල මිනිස්සු බලාගන්න එක ඩග්ලස් හරියටම කලා, ඩග්ලස් නොහිටින්න ගොඩක් කරදර මන්දාරම් නුවරට වෙන්න තිබ්බ. ඒත් එක හවසක ධර්මලිංගම් ව ඉස්කෝල මිදුලෙම මරලා දාල තිබ්බා, ඒ හවස පංතියක් ඉවර වෙලා ටීචර්ව ගෙදර එක්ක යන්න ආ වෙලාවේ, අපි හිතන්නේ ධර්මලිංගම් ව මරනවා ටීචර් දැක්කා, සතියක් දෙකක් යනකං ටීචර්ට සිහියක් තිබ්බේ නෑ. ඩග්ලසුයි මමයි තමයි ඔක්කොම කටයුතු කලේ. ඒත් ටීචර්ගේ ලඟටවත් යන්න ඩග්ලස්ට හම්බ වුණේ නෑ . කොහොම හරි ටීචර්ට හරියාකාරව සිහිය ඇවිත් දවස් දෙකක් ගිය තැන ටීචරුයි අම්මයි අවුරුදු දෙකක් වෙච්ච දරුවයි මන්දාරම් නුවරින් අතුරුදහන් වුණා. තාමත් කවුරුත් දන්නේ නෑ එයාලට මොකද වුණේ කියලා, ඔහොම අතුරුදහන් වෙන දේවල් හොයන්න තරම් ඒ කාලේ පොලීසියට ඉස්පාසුවක් තිබ්බෙත් නෑ, මට දුවත් හම්බ වුණේ ඔය කාලෙම නිසා ලොකුවට ඩග්ලස් එක්ක මොකුත් කරන්නත් බැරි වුණා.”

අප්පච්චී කතාව ඉවර කලා.

මෙච්චර වෙලා කතාව අහගෙන හිටි අප්පු කතා කලා,

“හෙට්ටිආරච්චි මහත්තය නොදන්න කොටස මං එකතු කරන්නම්. දැන්වත් මට මගෙ හිත හදා ගන්න ඕනි නිසා, අවුරුදු විසි තිස් ගාණක් ඕක හිතේ හිර කරං හිටියේ බොහොම අමාරුවෙන්.”

“එදා ධර්මලිංගම් මහත්තයව මැරුවේ වෙන කවුරුත් නෙවෙයි, ඩග්ලස් මහත්තයා. එයා දැනන් උන්නා මේක ජූලි කලබල අස්සේ කවුරුත් මේ මරණේ සැක නොකරන වග. මම කකුල් දෙකේ එල්ලිලා වැන්දා ඒ අපරාදේ කරන්න එපා කියලා, අවුරුද්දක් දෙකක් තිස්සේ ටීචර් නෝනෙව නොලැබුණු තරහ විතරයි මම එදා දැක්කේ මහත්තයෝ, එදා ඩග්ලස් මහත්තයා නෙවෙයි මුරුගයෙක් හිටියේ මහත්තයෝ මුරුගයෙක්. ඩග්ලස් මහත්තයා දැනන් උන්නා එදා ඒ වෙලාවට ධර්මලිංගම් මහත්තයා ටීචර් නෝනෙව ගන්න එන වග, මඟදි කරදරේ කරන්න උන්නට එදා ධර්මලිංගම් මහත්තයා විනාඩි දහයක් කලින් ගෙදරින් පිටත් වෙලා තිබ්බා, මං කිව්ව මුරුගයා කෙලින් ම ඉස්කෝලෙට ගියේ. යනකොට පොඩි මහත්තයයි ධර්මලිංගම් මහත්තයි ඔංචිල්ලාවක් පදිනවා.

“කවදාවත් නැතුව පොඩි මහත්තයත් ඇවිත් යං ඩග්ලස් මහත්තයෝ” කිව්වට මුරුගයාට කිසි දෙයක් ඇහුණේ නෑ. පන්තියේ ළමයි ටික ගේට්ටුවෙන් එළියට ගිය ගමන් ධර්මලිංගම් මහත්තයාව කැති ගාන්න ගත්තා මුරුගයා, මට පුළුවන් වුණේ එක අතකින් පොඩි මහත්තයාගේ ඇස් වහගෙන අනික් අතින් පොඩි මහත්තයාව ඇදන් දුවන්න විතරයි. හැබැයි ටීචර් නෝනා ඔක්කොම සිද්ධිය දැක්කා”

“එදා අලුත් මහත්තයා රැවුල කපලා ආවෙ හරියටම අපේ ධර්ම්ලිංගම් මහත්තයා වගේ මයි, ඒ විදිහටම කමිස අත නවලා. මං හිතන්නේ ඉස්සර කතාව ඩග්ලස් මහත්තයට එක පාර මතක් වෙන්න ඇති.”

“අප්පච්චි”, මෙච්චර වෙලා කතා නොමැතිව මහා කල්පනාවෙන් උන් ඔහු ම පියාණන් ඇමතුවේ ය.

“අප්පච්චි ඒ ටීචර්ගේ නම ස්වර්ණතිලකා ද ?”

“ඔව් පුතා. කොහොමද පුතා දන්නේ ?”

“මම ඒ ධර්මලිංගම්ගෙයි ස්වර්ණතිලකාගෙයි පුතා අප්පච්චි”

“ආරුෂ්..” මම ඔහුගේ අත අල්වා ගතිමි.

ප.ලි

හැමදාම වගේ මට කතාවක් ලියන්න හේතු වෙන දෙයක් තිබ්බා, ඒ තමා මේක. අපේ කැම්පස් එකේ අයියා කෙනෙක් හැබෑවටම මන්දාරම් නුවර ඉන්නවා, දවසක් එයා දාපු ෆොටෝ එකකට කැම්පස් එකේ අක්ක කෙනෙක් දාපු කමෙන්ට් එකක් නිසා මේ කතාව ලියන්න හිතුවේ.

ඒකෙ තිබ්බේ “අචල, ඔතනින් පල්ලෙහා වෙල්යායේ ඉස්කෝලයක් තියේ නේද ?”

පින්තූරය Pinterest වලිනි

--

--

Milani B.
Milani B.

Written by Milani B.

I'm here to find my self....

Responses (1)