තුන කඩා… එක රැකි පිනට…

Milani B.
10 min readMar 30, 2020

--

දහසක් බුදුන් බුදු වෙන මහා පාන්දර සේපාලිකා මල් විසිරුණු දෙවැට දිගේ බෙල්ල ගැට අක්කලැහෙ ගෙවල් දිහාවට පොඩිනා කෑලි දෙකේ බැටරියත් අරගෙන හිමින් ඇදුණේ නිලමේ ගෙදර කිරි අම්මලගේ දානේට යන කිරි අම්මලා හත් දෙනාට එක්කහු වෙන්න කියලා බෙල්ලේ ගැට අක්කා මීට දෙතුන් දොහකට කලින් ගෙදට්ටම ඇවිත් කියාපු නිසා. හතේ කණුවේ මැගිලින්, එයාගෙ ලොකු දුවට දරුවා හම්බෙන්න ලඟ නිසා තිස්සමහාරාමේ බෑණලගේ ගෙදර ගියේ පහුගිය බුරාස්පතින්දා. නැත්තං පොඩිනා වෙනුවට මැගිලින් තමා කිරි අම්මලා හත් දෙනාට එකතු වෙන්නේ. බෙල්ලේ ගැට අක්කගේ කිරි අම්මාවරු කල්ලියෙන් කාට හරි එන්න විදිහක් නැත්තං පොඩිනා ඒ අඩුව පුරවනවා. පොඩිනා කාලෙකින් සුදු සාරිය ඇන්ද නිසාද මංදා වෙනදට වඩා වෙලාවක් දෙවැට පහුකරන්න ගත වුණා. එළිය අඩු වුණු නිසා දෙපාරක් විතර බැටරිය අල්ලට ගහගත්තු පොඩිනා පය ඉක්මන් කලා. දෙවැටින් එහා පැත්තේ කෝච්චි පාර, තමන්ගේ එකම වස්තුව වුණු පොඩි එකාව දෙවැටින් මෙහාට එවන්නේ නැත්තේ මේ කෝච්චි පාර නිසා, දැනටමත් තමන් දන්න කියන දෙතුන් දෙනෙක් ම යකඩ යකාට බිලි වෙච්චි. හැබැයි කෝච්චි පාරටත් වඩා පොඩිනගේ හිත මොහොතකට නතර කරපු තැනක් කෝච්චි පාරට එහා පැත්තෙන් තියෙනවා, ඒ මොරටු මහත්තයාගේ සොල්දර ගෙදර. කෝච්චි පාර, සොල්දර ගෙදර, මොරටු මහත්තයා, පොඩිනා එක කතාවක ලොකු කොටස් කාරයෝ.

පොඩිනා මහරච්චිමුල්ලට දීග තල ආවේ ජේවිපී කලබල කාලේ. සිරිදාස කිව්වේ කලබල නිසා මඟුල සුළුවට කරමු කියලා. පස්සේ තමයි පොඩිනට තේරුණේ ඒ සිරිදාසගේ බොරු වලින් තව එකක් කියලා, විය පැහැදම් ගැන අමුතු ලෝභ කමක් තිබුණු සිරිදාස ඇට් හෝම් එකක්වත් නැතුව මහරච්චිමුල්ලට පොඩිනව ගෙනාවා. ජීවිතේ ලොකු බලාපොරොත්තු නොතිබිණු පොඩිනට ඒක මහ දෙයක් වුණේ නෑ. අනික් මොන වියදමක් වුණත් සිය දහස් වාරයක් හිතලා කරන සිරිදාස ලොක්කි මැණිකගේ කසිප්පු තිප්පොලේදි නම් අනේපිඬු සිටාණෝ වෙන වග පොඩිනට කිව්වේ සිරිදාසගෙ එක කුස උපන් අක්කා, කාන්ති.

“අපි හදා ගන්න බැලුවා නංගියේ ඒත් සිරිදාසයා අයාලෙමයි ගියේ” කියලා විඩෙන් විඩේ පොඩිනගෙන් සමාව ඉල්ලන්න තරං කාන්ති පොඩිනා ගැන දුක් වුණා. කාන්ති ඇත්තටම දුක් වුණේ නෑන කෙනෙක් හැටියට නෙවෙයි, එක කුස උපන් සහෝදරියක් වගේ. මත්වතුර ටිකක් බීඩියක් කටේ තියන්නේ නෑ කියලා එක්ක ආව පොඩිනව පළවෙනි රෑ ම තනි කරලා ගමේ එක පළලේ ඈයොත් එක්ක එළිවෙනකං රා බීපු සිරිදාස සතියක් යන්න කලිං පොඩිනත් එක්ක රණ්ඩුවත් පටං ගත්තා.

කර කාර ඇවිදින් සති තුනක් විතරම කන්‍යාවක් ම වෙලා හිටි පොඩිනා අන්තිමේ ගැහැණියක් වුණේ කට ගොන්නක් බී ගෙන ආපු සිරිදාසවත් පොඩිනවත් කාන්තිලහ ඉස්තෝප්පු කාමරේ අඟුලු දැම්මයින්, ඒකත් පොඩිනගේ උවමනාවට සිද්ධ දෙයක් මිස සිරිදාසගේ හිතේ කොනකවත් තිබුණු දෙයක් නෙවෙයි කියලා පොඩිනට තේරුණේ උදැහැනැක්කේ රා බීපු ඌරා වගේ දෙලහෙන්න ගත්ත සිරිදාස නිසා. පරළ වුණු සිරිදාස කිව්වෙ ම ළමයෙක් හිට්ටොත් කන්න දෙන්නේ මොනවද කියන එක. ඒත් සිරිදාසට පරම්පරාවෙන් උරුම වෙලා තිබුණු දේවල් එක්ක ඒක අමාරු වැඩක් නොවෙන වග පොඩිනා දැනන් හිටියා. මේ කියන දවසින් සතියක් යනකං සිරිදාස නෙවෙයි ගෙදර පස් පෑගුවේ. කාන්ති නොහිටින්න පොඩිනා එදා ම අම්මල ලඟට ගිහින්. කාන්ති පොඩිනගේ හිත හැදුවා, ඒත් තමන්ගේ ජීවිතේ අමාරුම කාලේ පටන් ගත්තා විතරයි කියලා පොඩිනා දැනන් හිටියා. දීගේ අතෑරුණු කාන්ති පොඩිනගෙ හයියට ටිකක් හරි ඉඳිවි කියලා පොඩි බලාපොරොත්තුවක් පොඩිනගෙ හිතේ තිබුණා.

සිරිදාස එක්ක ගත වුණු අවුරුදු ගානවත් පොඩිනා ගණන් කලේ නෑ. හරිම ඒකාකාරී ජිවීතයක් අස්සේ හිර වුණු පොඩිනා පොඩි එකෙක් ගැන නොහිතුවා ම නෙවේ. ඒත් ඒ කිසිම දෙයක් ගැන වගේ වගක් නැතුව සිරිදාස ඒ කාලේ වගේ ම කාණ්ඩෙත් එක්ක ලොක්කි මැණිකෙගෙ තිප්පොලේ කසිප්පු බීගෙන හිටියා, වත්ත පිටියෙන් එන ආදායම නොතිබෙන්න, ඒ ආදායම හරියාකාරව බෙදලා දෙන කාන්ති නොහිටින්න පොඩිනා හාමතේ මැරිලා. අම්මලගේ සනුහරෙන් ලැබෙන්න ඇතැයි කියලා තාමත් අම්මට පින් දෙන පොඩිනාගේ හිතේ හයිය ගැන නං කාන්තිත් ඕනි වෙලාවක අලගු තියා වි.

පොඩින ගෙ විතරක් නෙවෙයි ගමේ කාගෙ කාගෙත් ජීවිත වෙනස් වුණේ මොරටු මුදලාලි ගමට ආවයින්. පාලුවට ගිහින් තිබුණු සොල්දර ගෙදර මොරටු මුදලාලිගෙ පරවේණියක් කියලා පොඩිනා දැන ගත්තෙත් මොරටු මුදලාලි ගමට ඇවිත් දවස් දෙක යද්දි සොල්දර ගෙදර ලකේට හරි ගස්සල ගත්තැයින්. මොරටු මුදලාලිගෙ අම්මා, අප්පොච්චා විතරක් නෙවෙයි එක කුස උපන් අයියත් මොරටු මුදලාලිට නැති වෙලා තියෙන්නේ මොරටු මුදලාලිගෙ මංගල්ලේ සිද්ධ වෙච්චි දා වෙච්චි අබග්ගේ නිසා. කාන්ති තාමත් ඒ ගැන දෙලහෙන්නේ තමන්ගේ කෙනෙක්ට වෙච්චි කරදරයක් වගේ. මොරටුවට බින්න බැස්ස නිසා ම මොරටු මුදලාලි කියලා නම වැටුනට මංගල්ලෙට කලියෙන් ගමේ ඈයො කිව්වේ කිව්වේ සිරිමෙවන් බණ්ඩාර මහත්තයා කියලා. මොරටුවේ ලී මුදලාලි කෙනෙක්ගෙ දුවෙක්ට බහ දීපු සිරිමෙවන් බණ්ඩාර මොරටු මුදලාලි වුණේ මාමණ්ඩිගේ ඇවෑමෙන්.

සෑහෙන කාලෙකට ගමට නොආපු මොරටු මහත්තයා එක පාරටම ගමට ආව එක, ආපහු සොල්දර ගෙදරම නැවතුණු එක ගමේ ගොඩක් උන්දැලට ප්‍රශ්නයක් වුණා, කොටින්ම කාන්ති පොඩිනගේ ගෙදර එන හැම වතාවෙම මොනා හරි ඕප දූපයක් තිබුනා කියන්න. ගමේ මිනිස්සුන්ගේ කතා, කාන්තිගෙ වරුණා අහගෙන ඉඳලා පොඩිනටත් හිතේ ලොකු ආසාවක් තිබුණා මේ මොරටු මහත්තය කවුද කියලා බලා ගන්න. පොඩිනට අන්තිමේ ඒකට මඟ පෑදුණේ අහම්බෙන්. ඒ ලොක්කි මැණිකගේ කසිප්පු තිප්පොලේදි සිරිදාසට මොරටු මහත්තයා මුණ ගැහිලා ගෙදර වැඩට කීපදෙනෙක් හොයල දෙන්න කියපු නිසා. වෙරි මරගාතේ ගෙදරට ආපු සිරිදාස පොඩිනට කිව්වේ “මොරොට්ටගෙ ගෙදර වැඩපොල කරගන්න ගෑණු හොයනවා, බොට යන්න ඇහැකිනේ කාන්ති එක්ක ආයේ ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්න එකේ”. නිකමා වගේ බත් ගිලින්නේ කවුද කියලා කියන්න කටට ආවත් පොඩිනා නෙවෙයි වචනයක් කීවෙ, ඒ වෙරි මරගාතේ ඉන්න සිරිදාසගෙන් කාපු ගුටි වල රස තාම මතක නිසා. ඊටත් වඩා මොරටු මුදලාලි කවුද, සොල්දර ගෙදර කොහොමද කියලා බලා ගන්න තිබ්බ උවමනාව නිසා. අනික කාන්ති යන ඕනි තැනක බය නැතුව යන්න ඇහැකි.

නමෝ විත්තියෙන් පහු වෙනිදම කාන්ති එක්ක පොඩිනා සොල්දර ගෙදරට ගියේ ලඟ තිබුණු හොඳම චීත්ත පොඩිය සුරුවමට ඇඳගෙන. ඒ මොරටු මහත්තයා දකින්න ද නැත්තං සොල්දර ගෙදර තිබ්බ මහා රාජ ඌෂ්නෙ නිසාද කියලා අදටත් පොඩිනා දන්නේ නෑ. මොරටු මහත්තයා දකින්න කියලා ගියාට මොකෝ නිකමටවත් උන්දැව දෑහට දකින්න වුණේ නෑ. මොරටුවෙන්ම ආව තේගිරිස් වැඩට ආව ඈයින්ව ආං බාං කලා මිසක්ක එක විනාඩියකට මොරටු මහත්තයා පෙනුමට ආවෙ නෑ.

ඔයාකාරයෙන් දවස් හතක් ගිය තැන තේගිරිස් උන්නැහැ ඕනිම වැඩපොලකට කාන්තිව හරි පොඩිනව හරි යොදා ගන්න තරමට විශ්වාසෙ දියුණු වුණා. ඒත් කාන්තිවත් පොඩිනවත් නෙවෙයි මොරටු මහත්තයව දැක්කේ. වෙලාවෙන් වෙලාවට යන කෝච්චිය ඇර වෙන හාවක් හූවක් ගේ ඇතුලේ නෑ.අට වෙනි දවස වෙද්දි ආරංචිය ආවා. මොරටු මහත්තයා ආයෙම මොරටුවට ගිහින්, තේගිරිස් කිව්වේ නෝනා පොඩ්ඩගේ තුන් මාසෙ දානෙ කටයුතු වලට මොරටුවට ගියා කියලා. ආයෙමත් කාන්ති දෙලහෙන්න ගත්තා අනේ දෙයියනේ මේ මොන අබග්ගයක්ද කියලා. දරු මල්ලොත් නොහිටිය මොරටු මහත්තයා අන්තිමේ තනි වුණා නේද කියලා ගමේ ගොඩේ කතා පැතිරුණා. සිරිදාස නං හැමවෙලේම කිව්වේ “මොරොට්ට වඳ ඇති අපේ ගෑණි පොඩිනා වගේ” කියලා.

දවස් දහයක් ගත වුණේ පොඩිනගෙ හිතේ “මොරටු මහත්තයා” කියලා රූපයක් මවන ගමන්, ගමේ ගොඩේ කතා, තේගිරිස්ගේ වර්ණනා එක්ක ඒ රූපේ මවා ගන්න පොඩිනගෙ හිතට පුලුවන් වුණා, හැබැයි ඒක පොඩිනට ම පුදුමයක් වුණා, ඒ කවදාවත් නැතුව එක රූපයක් හැබැහින් බලා ගන්න මෙච්චර බලාපොරොත්තු ඇයි කියලා. සමහර විට මොරටු මහත්තයගේ ජීවිතේ වෙච්චි අහිමි වීම් පොඩිනගෙ හිතේ යම් විදිහක ආකර්ෂණයක් ඇති කරන්න ඇති.

අන්තිමේ එක හැන්දෑවක රතු පාට මොරිස් මයිනරේ සොල්දර ගෙදරට ආවා. තේගිරිස්ගේ ඉල්ලීම මත රෑට ව්‍යංජං කීපයක් එක්ක බතක් ලෑස්ති කරන්න කුස්සි කෑල්ලේ ඔට්ටු අල්ලපු කාන්තියි පොඩිනයි මොරිස් මයිනරේ සද්දෙට හොඳට කන් දුන්න. ඒත් එක්කම තේගිරිස් කුස්සියට එබුණේ හොඳවයින් ඉඟුරු දාපු කහට එකක් මොරටු මහත්තයගේ කාමරේට ගේන්න කියලා කාන්තිට කියන්න. කාන්තිත් දන්න සූත්තර ඔක්කොම දාල ඉඟුරු දාපු තේ එක හැදුවේ නිකමට හරි රස නැති වුණොත් ආය රාජකාරි කරන්න මෙහෙ එන්න ඕනි නෑ කියලා මොරටු මහත්තයා කියාවි කියන බයට.

හැබැයි පොඩිනා තවමත් තමන්ගේ හිතුවිල්ලේ. උදේම කාමර ඔක්කොම ආයෙම ඇතිරිලි දාල අස් කරන්න දුන්නු වෙලේ මොරටු මහත්තයගෙ කාමරේ විතරක් කෝච්චි පාරට පේන්න කවුළුවක් හදා ගත්තේ ඇයි කියලා, පොඩිනා තවමත් කල්පනා කරනවා. ඒ ජනේලෙ නිකං කියවලා හදවලා වගේ. ඉර මුදුන් වෙන්න පැයක් වගේ තියෙද්දි හැමදාම යන කෝච්චිය අද ගියේ පොඩින ඒ කෝච්චිය දිහා මොරටු මහත්තයාගේ කාමරේ ජනේලෙන් බලාන ඉද්දි.

අන්තිමේ පඩි පෙල දිගේ බැහැගෙන එන මොරටු මහත්තයව පොඩිනා දැක්ක. පොඩිනගේ හිතේ තිබුණු පෙනුමට වෙනස් වුණත් පොඩිනා හිතපු විදිහේ හිනාවක් මොරටු මහත්තයට තිබුණා, ඒ ඇස් ඇතුලෙන් පේන දුක වහගෙන ඇස් වලින්ම හිනා වෙන එක. පොඩිනට මේක විශේෂ දවසක් වුණත් වැඩට ආව තවත් උන්දැ කෙනෙක් කියලා මිසක් මොරටු මහත්තයට ලොකු විශේෂයක් පොඩිනගෙ දැනුණේ නෑ. හැබැයි මොරටු මහත්තයටත් පොඩිනව විශේෂයෙන් දැනුණු දවසක් ඉක්මනට ම ආවා, ඒ මොරටු මහත්තයා ගෙදරින් පිටත් වුණු වෙලාවක කාමරේ අස් කරන්න කියලා ගිය පොඩිනා කෝච්චිය එනකං කවුළුවෙන් බලා ඉද්දි. අමතක වුණු ලියුම් කරදහියක් ගන්න ආයෙම එන්න වුණු මොරටු මහත්තයා දැක්කේ තමන්ගේ ඇඳ ඇතිරිල්ල දෝතින් ම බදා ගෙන ජනේලෙන් කෝච්චි පාර දිහා බලා උන්නු පොඩිනව. ජනේලෙන් ආව ඉර එලියත් එක්ක අමුතු ලස්සනක් මොරටු මහත්තයට දැනුණා. සද්ද නොකර ඒ දිහාම බලා උන්නු මොරටු මහත්තයට හිනා ගියේ ඒත් එක්කම ගිය කෝච්චියට අත වනාපු පොඩිනව දැකලා, පොඩි එකෙක්ගෙ සතුට ඒ හැම ඉරියව්වකම තිබ්බා. “කෝච්චියේ කවුරුත් ඔහේව දකින්නේ නෑ “ මොරටු මහත්තයගෙ කතාවට කලබලෙන් හැරුණු පොඩිනා කාමරෙන් දිව්වේ සමාව ඉල්ලන්නවත් වචන එන්නෙ නැතුව උගුරෙ හිර වෙච්චි නිසා. ඒත් ඒ හැමදේකම ලස්සනක් මොරටු මහත්තයා දැක්කා. මොරටුවෙන් හිර ගත්ත නෝන පොඩ්ඩ ඇර වෙන කා ගැනවත් ලොකු ආසාවක් නොතිබ්බ මොරටු මහත්තයට පොඩිනව හිතෙන් අත් ඇර ගන්න බැරි වුණා. නෝනගෙ අසනීපෙ නිසා ආම්බාන් කරගන්න වුණු සිතුවිලි ඔක්කොම එක පාර වාන් දාන වගකුත් මොරටු මහත්තයට දැනුණා.

වැඩිමනත් කල් යන්න කලියෙන් මොරටු මහත්තයගෙ “සියළු අවශ්‍යතා” ඉෂ්ට සිද්ධ කරන්න පොඩිනට රැයක් දවාලක් නැතුව සොල්දර ගෙදර ඉන්න වුණා. තේගිරිස් උන්නැහෙයි කාන්තියි ඇරෙන්න මේ අලුත් ආදර කතාව ගමේ ඈයො දැනන් හිටියේ නෑ. පොඩිනා රෑට රෑ වෙලා ගෙදර ආවත් සිරිදාසට නෙවෙයි වගේ වගක් තිබුණේ. ඇරත් කාන්ති පොඩිනත් එක්කම හිටි නිසා ලොකු දෙයක් සිරිදාසට තේරුණේ නෑ.

මොරටු මහත්තයත් පොඩිනත් අතර තිබ්බ සම්බන්ධේ නිකං ශාරීරික සම්බන්ධතාවයක් කියලම කියන්න බෑ. මොකද දෙන්නගේ ලොකුම ආසාව වුණේ කෝච්චි පාර දිහා බලාන කතා කර කර ඉන්න එක. කෝච්චි පාර දිගේ ඇවිදගෙන යන කෙනෙකුට නං කොහොමවත්ම මේ දෙන්නා නොපෙනුනාට කෝච්චියේ යන කෙනෙකුට මෙයාලව දකින්න පුළුවන් වෙන තරමේ පොඩි ඉඩක් තිබුණා. ඒක එහෙම වෙන්න ඉඩ බොහොම අඩු වග මොරටු මහත්තයා කලින් ම පොඩිනට කියලා තිබුණේ, ඒ නිසාම පොඩින නෙවෙයි කෝච්චි පාර පයිසෙකට මායිම් කලේ. ඇරත් දවසටම කෝච්චි තුනක් විතරක් යන පාරක් වෙච්චි. පොඩිනගේ ජීවිතේ වෙච්ච හැල හැප්පීම්, කරදර, බලාපොරොත්තු සුන් වීම් කවදාවත් නැතුව මොරටු මහත්තයගේ ඉස්සරහ වචන වලට හැරුණා. මොරටු මහත්තයාගේ හිතේ තිබුණු දුක සාංකාව පොඩිනත් එක්ක විතරක් බෙදා ගත්තා. කඹ වාගෙ රත්තරං මාල හයක් හතක් දාගෙන ඝනවට වැඩුණු උඩු රැවුලක් කරකවලා රෞද්‍ර වේශයෙන් කතා කරන මොරටු මහත්තයාගේ ලාමක හිත පොඩිනට අලුත් මොරටු මහත්තයෙක්ව පෙන්නල දුන්නා. ඒ හරියටම හැබැහින් මොරටු මහත්තයා දකින්න කලියෙන් පොඩිනා හිතේ මවා ගත්ත කෙනා වගේ.

එදා උදෙත් වෙනදා වගේ ම මොරටු මහත්තයගෙ පපුව අස්සේ හිර වෙලා හයයි හදයේ කෝච්චිය එනකං බලා උන්නු පොඩිනට කවදාවත් නැතුව මොරටු මහත්තයගේ සුරුට්ටුවේ ගඳ අපුලට දැනුණා. මැදින් මහේ අග නිසා පාන්දරට තිබුණෙත් ලොකු ඌෂ්ණයක්. සුරුට්ටුවේ අපුල එන්න එන්නම වැඩි වෙලා ඔක්කාරෙට එන වග පොඩිනට තේරුණා. කටත් අතින් වහගෙන පහලට දුවගෙන ආව පොඩින පස්සෙන් මොරටු මහත්තයත් දුවං ආවා. කලබලේ ඇහිලා ලිඳ ගාව අඟුරු කෑල්ලක් හප හපා හිටිය තේගිරිසුයි කුස්සි කෑල්ලට අල්ලලා හදලා තිබුණු කාමරේ නිදං හිටිය කාන්තියි එකපාර දුවං ආව. මේ කිසි දෙයක් ගැන තේරුමක් අනික් තුන් දෙනාටම නොතේරුණාට කාන්තිට පලවෙනි බැල්මෙන්ම මේ කාරණය තේරුණා. පොඩිනට දරුවෙක්!!! තාත්ත මොරටු මහත්තයා කියන එක අවුරුදු දහයක් තිස්සේ පොඩිනගෙ දුකට සැපට හිටි කාන්තිට රහසක් වුණේ නෑ.

පොඩිනා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දි මොරටු මහත්තය ඇරෙන්න අනික් දෙන්නම ඇස් වල කඳුලු තියාගෙන පොඩිනා දිහා බලාගෙන ඉන්නවා. කට පොඩියක් හෝදගත්ත පොඩිනා හිමින් සැරේ මොරටු මහත්තයගේ කාමරේට ගියා. ජනේලෙට අත තියාගෙන කෝච්චි පාර දිහා බලාගෙන මොරටු මහත්තයා කල්පනාවක. කමිසෙත් නැති පිට දිගේ දාඩිය හැලෙන්නේ වතුර බාල්දියක් නාල වගේ. පොඩින ගත්තු හුස්මවල බර කමටද මංදා මොරටු මහත්තයා ආයෙම හැරිලා බැලුවා. ඒ ඇස් වල කඳුළු, පොඩිනට ඒක දැකල ඇඬුම් ආව සොරොව්ව ඇරිය දාක වගේ. ඇඬුම මැද්දෙම මොරටු මහත්තයා පොඩිනව ලඟට අරං ඉම්බා, ඒත් එක්කම විනාඩි පහක් පමා වෙච්චි හයයි දහය කෝච්චියත් හූ හඬ තලාගෙන ගෙන ගියා. මොරටු මහත්තයාගේ තුරුළේ ඉඳන් කෝච්චිය දිහා බලාන උන්නු පොඩිනා දක්කේ කවදාවත් නැතුව කෙනෙක් කෝච්චියේ ඉඳන් සොල්දර ගෙදර ජනේලෙ දිහා බලාන පුදුමෙන් උන්නු හැටි. පොඩි මොහොතකට පොඩිනට හිතුනා මේ වෙච්චි මුළු කතාවම ඒ බලා හිටි කෙනාට කියන්න පුළුවන්නම් කියලා, කියලා හිත නිදහස් කරගෙන ආයෙම ඊයෙ දවසට යන්න පුලුවන්නම් කියලා. ඒත් එක්කම කෝච්චියේ හිටි කෙනා හීන් හිනාවක් පොඩිනට දැම්මේ හිතේ තිබුණු දේ දැන ගත්ත වගේ. පොඩිනට ජීවිතේ කවදාවත් නොදැනුණු අමුතු සැහැල්ලුවක් දැනුණා.

සති තුනක් ගිය තැන සිරිදාසට පොඩිනගෙ මේ වෙනස තේරෙන්න ගත්තා. කාන්ති බයේ උන්නු දවස ආවා. මහ පාන්දර කටගොන්නක් බී ගෙන කාන්ති ලහ නාලාගිරි ඇතා වගේ ආව සිරිදාස කෙලින්ම කාන්තිගේ බෙල්ලෙන් ම අල්ල ගත්තා. “කියාපිය අර බඩේ ඉන්න එකාගේ තාත්ත කවුද” තව තවත් බෙල්ල හිර කරන්න ගත්ත සිරිදාස කාන්තිගෙන් අහනවා, කාන්ති කොච්චර දහිරිය ගත්තත් දඬු කඳේ ගැහුවා වගේ.” මං අර වේසාවිටත් මැරෙන්න ගහලා ආවේ, තෝත් කිව්වේ නැත්තං තොටත් ඒකමයි වෙන්නේ” සිරිදාස කෑගහනවා.

කාන්තිගේ පොඩි ඈයො යටිගිරියෙන් අඳෝනා දෙනවා. පොඩි එකාගේ සද්දෙට කාන්තිට පියවි සිහිය ආවා,” මං මලොත් මේ පොඩි එවුන්ට යන කල මොකද්ද කියන සිතුවිල්ලත් එක්ක “මොරටු මහත්තයා” කියන වචන දෙක කාන්ත්ගෙන් පිට වුණා. “ආ ඒකද බොල තාත්තා, ලොකු අතුනේ අල්ලලා තියෙන්නෙ”, තාමත් සිරිදාස කාන්තිගෙ බෙල්ල අතෑරල නෑ. “දැන්වත් මාව අතෑරපං මිනිහෝ” කාන්ති හිතට දහිරිය තවත් ගත්තා. හිටපං මං උඹව පස්සේ අල්ල ගන්නං, එක කුස උපන් මට වඩා අර වේසාවි ලොකු වුණා, සිරිදාස කාන්තිගේ බෙල්ල අතෑරලා කෝච්චි පාර පැත්තට දිව්වා.

එතනින් එහාට කතාව කාන්තිවත්, නොසෑහෙන්න ගුටි කාල දවසක් සිහි නැතුව හිටි පොඩිනවත් දන්නේ නෑ. මුළු ගමෙන්ම කතාව හරියට දැන හිටි සිරිදාසයි, මොරටු මහත්තයයි දෙන්නම විනාඩි විස්සක් පරක්කු වෙලා ආව හයයි දහයේ කෝච්චියට බිලි වෙච්චි. ඊට අමතරව කතාව හරියටම දැනන් උන්නු තේගිරිස් සොල්දර ගෙදරින් යන්න කලියෙන් පොඩිනගෙ ගෙදරට ඇවිත් කාසි කොළ කීපයක් මිට මොලවලා අතුරුදහන් වෙච්චි. ගමේ කතාව පැතිරුණේ මොරටු මහත්තයයි සිරිදාසයි බීල කරට අත දාගෙන එද්දි පරක්කු වෙලා ආව කෝච්චියේ හැප්පුනා කියලා. ඒකට ඇහින් දුටු සාක්කියක් වුණේ ගමේ පොල් කඩන නිමලේ. තුන් දෙනාම රෑ ලොක්කි මැණිකෙලහ කසිප්පු බිව්ව වග ලොක්කි මැණිකෙම සාක්කියට කිව්වා. හැබැයි තේගිරිස් අතුරුදහන් වෙන්න කලින් නිමලෙටත් ලොක්කි මැණිකෙටත් කාසි කොළ මිටි කරපු බවක් මේ වෙනතුරු කවුරුත් දැනන් හිටියෙ නෑ. අනතුරේ ආරංචියට පොඩිනා දෙවැට දිගේ දුවගෙන එනකොට වැටිලා සිහි නැති වුණු වගත් කාන්ති බෙල්ලේ වැල දා ගන්න ගිය වගත් ගම පුරා ලැව්ගින්න වගේ පැතිරුණා. මහඉස්පිරිතාලෙන් කියලා තිබුණේ වැටෙද්දි හාස්කමකින් වගේ පොඩිනා දරු ගැබ වහං කරං ඉඳපු වග.

මාස නවයක් ගිය තැන පොඩිනා අහිංසක පොඩි පුතෙකුගේ අම්මා වුණා. ගමේ හැමෝම කිව්වේ අකාලේ මියෑදිච්ච තාත්තගේ කපාපු පළුව කියලා, දරුවා දකින්න සිරිදාස හිටියනං කොයි තරම් සතුටු වෙයි ද කියලා. ඒත් දරුවා දිහා බලා ඉන්න ඉන්න පොඩිනත් හිතුවේ පොඩි එකා තාත්තගේ කපාපු පළුව නේද කියලා, මොරටු මහත්තයාගේ දුක හංගාපු ඇස් පොඩි එකාටත් එහෙමම පිහිටලා. ගමේ නම්බුකාර විදිහට වසන්න ඉඩ හදලා දීපු තේගිරිස්ව උදේ හවා මතක් කරන්නත් පොඩිනා අමතක කලේ නෑ. තාමත් හිතා ගන්න බැරි ලොක්කි මැණිකෙවයි නිමලෙවයි කටේ කෙල බිඳක් නොහෙලන තරමට බය කරන්න තේගිරිස් කියාපු කතාව මොකද්ද කියලා. අනික පොඩිනව දකින හැම වෙලේම ලොක්කි මැණිකෙයි නිමලෙයි පෙන්නුවේ අමුතු බය පක්ෂපාතීත්වයක්.

මේ ඔක්කොම මතක වලට පොඩි විරාමයක් හුස්මකින් දීපු පොඩිනා ඈතින් එන කිරි අම්මල පෙරහැරට එකතු වෙන්න අඩිය ඉක්මන් කලේ පොඩි එකා තාමත් කාන්තිගෙ තුරුලේ සනීපෙට නිදි ඇති නේද කියන සතුටු හැඟීමත් එක්ක.

:::ප.ලි:::

“ට්විටර් එකේ @_Banz කියන්නේ මං කැමතිම ට්විටර් ඈයො කීප දෙනාගෙන් කෙනෙක්. අවුරුද්දකට විතර කලියෙන් @_Banz දාපු ට්වීට් එකක් නිසා මේ කතාව මට ලියන්න හිතුනේ. ට්වීට් එක වුණේ පොඩි පද පෙලක් ඩිකොඩ් කරන්න කියලා. ඒ පද පෙල මෙහෙමයි.

“හැමදාම හවසට

පහ කඩන හිමි

වරම් දුන් නැති සඳ,

කිරි දානයට

වැඩියාය ඇය

තුන කඩා…

එක රැකි පිනට!”

මං හැමදාම හිතනවා වගේ ම අපේ ලාංකේය ට්විටර් අවකාශයේ ඉන්න බොහෝමයක් ඈයො දක්ෂයි, නිර්මාණශීලියි. ඒ නිසා ඔය පද පෙල ලස්සනට ඩිකෝඩ් කරපු අය හිටියා. මං ට්වීට් එක දැක්කේ අහම්බෙන්, මාත් ට්වීට් එකක් දාන්න හිතුවත් මං දුර ගමනක් යන ගමන් හිටියේ. ට්වීට් එක දැම්මනං එකක්, මොකද ඒ ගමන ගිහින් එනකං මගේ හිතේ පොඩිනගේ කතාව ඔළුවෙ කැරකි කැරකි තිබුණේ. ලැබුණු නිවාඩුවේ ඒක අකුරු කරන්නම් කියලා හිතුවා අන්තිමේ. උඩ මං කියලා තියෙන්නේ ඒ මහරච්චිමුල්ලේ පොඩිනගෙ කතාව.”

--

--

Milani B.
Milani B.

Written by Milani B.

I'm here to find my self....

Responses (1)