දෙනෝ දාහක් සෙනඟ මං දිහා බලාන ඉන්න වග මට නොතේරුණා නෙවෙයි, ඒත් හැබැයි ඒ හැම දෙනාම අපැහැදිලි රූප. මේ අරයා ය මෙයා ය කියලා කියන්නවත් බැරි තරමට ඈත ඉන්නවා වගේ. හැබැයි ඒ තරම්ම දුරකින් නෙවෙයි වෙන්නත් පුළුවන්. මට ඔය ගැන එච්චර වද වෙන්න බෑ. මහන්සියි . ලොකු වැඩක් තියෙනවා . මම හුස්මක් ගත්තා. කාලෙකට පස්සේ නිසා වෙන්න ඕනි පපුවේ සද්දෙ මට ම ඇහෙනවා. මට ඉස්සරහින් රතු බැනියම, මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් නොඉවසිල්ලක් ඇරෙන්න මිනිහගේ ලොකු වෙනසක් නෑ, පිටි පස්සේ කවුරු ඉන්නවද කියලා ලොකු අදහසක් මට නෑ, මට ඒ ගැනත් කියන්න පුළුවන් වුණා නම් කියලා හිතෙනවා. කවදා හරි, කොහේදි හරි හම්බවුණු කෙනෙක් වෙන්නත් පුළුවන්.
ජීවිතේ තවත් මොහොතක්….
තත්පරයක් ඉන්න,
රතු බැනියමේ අංකේ දා හතර නේද ?
ලෝකෙ කොච්චර ඉලක්කම් තිබුණත් දා හතර තරම් දැනෙන තවත් ඉලක්කමක් නෑ.
මෙච්චර වෙලා ඇහුණ පපුවේ සද්දේ නැවතුණා….
රතු බැනියමේ කලු පාටින් ලියාපු අංක දා හතර අස්සෙන් මට පරණ මතක වැක්කෙරෙනවා දැනෙනවා…
මට ඉස්සෙල්ලම ඇයව මුණ ගැහුණේ වරාපිටිය පොදු ක්‍රීඩාංගණයෙදි. එදා දිස්ත්‍රික් තරඟ. කට්ට අව්වේ , දුවන සපත්තු දෙකයි වතුර බෝතලෙයි අරං ටැප් එක දිහාවට යාලුවෙක් එක්ක යන ඇයව මගෙ ඇස් ඉස්සෙල්ලම දැක්කේ එතනදි. අහේතුකව ඈ දිහා ම බලා උන්නු මම පියවි සිහියට ආවේ හොඳම යාළුවා වෙච්චි සුගත් අයිස් පලමක් මගේ දික් කලායින්. අයිස් පලමෙන් ඇස් ඉවතට අරං ආයෙම ඇයව හෙව්වත් සෙනඟ අතරේ ඇය අතුරුදහන් වෙලා. මගෙ ඇස් වලට ඒ මූණ මතක තිබුණේ නෑ, ඒත් මගෙ මොළෙ ඇගේ ටී ෂර්ට් නොම්බරේ දා හතර වග මතක තියා ගෙන තිබුණා.
400x4 රිලේ තරඟේ අපි හොඳට කලා. පදක්කම ගන්න කුඩා වේදිකාවට නැග්ගත් මගෙ හිත හෙව්වේ අංක දා හතර, මොලේ දෙන සංඥාව හරි බරපතලයි ඇස් වලට.
“හොයපාං, තව හොඳට බලපාං”
අන්තිමේ කොනට වෙන්න තියෙන ජෑම් ගහක් යට දා හතර දැක්කා, අයිස් පලමක් කනවා.
පදක්කමත් එක්ක එළියට පැන්න ගමන් සුගත් ව ඇදගෙන ජෑම් ගහ යටට ගියේ දා හතරේ මූණ හරියටම මොළේ තැම්පත් කර ගන්න. මගෙ වෙලාවට දා හතර නෑ ජෑම් ගහ යට. ආයෙම මොළෙන් දැඩි සංඥා.
“හොයපාං, තව හොඳට බලපාං”
දා හතර පිට්ටනිය මැද. පදක්කමක් ගන්නවා. මේ පාර ඇස් ඈ දිහාවටම තියාගෙන හිටියා.
“තිසේරා, උඹ අන්තිම ලැප් එක හොඳට කලා පුතා, නැත්තං අපිට ගෝල්ඩ් එක ගන්න ලැබෙන්නෙ නෑ. උඹ මොනාද කාලා ආවේ අද කඟවේණා වගේ දුවන්න”
උර පතු දෙකෙන් අල්ලන ගමන් සිවිල් පිට ඇවිදින් උන්නු ප්‍රින්සිපල් සර් ඇහුවා. වෙනදා වගේම අම්ම කඩවලට දාන්නත් එක්ක හදාපු ඉඳි ආප්පයි කොච්චි සම්බෝලෙයි බඩට දාං ආවෙ කියන්න යැ. මං හිනා වුණා.
“ඊලඟට තමා පුතයො වැඩේ, පළාත් තරඟ ලේසි වෙන්නෙ නෑ. ඊලඟ සඳුදා ඉඳන් හවස පැයක් දෙකක් ඉඳපං සුගත්ල එක්ක. කන බොන වියදං මං දෙන්නම් “.
ප්‍රින්සිපල් සර් බීල ද මං තනියම හිතුවා. සමහර විට සංතෝසෙ වැඩි වෙලා මං හිතන්නේ. අච්චර අමාරුකං තියන ඉස්කෝලේ කොහොමින් හරි ගෙනියන එකා වෙච්චි, අද දිස්ත්‍රික් තරඟ වල තුන් වැනියට වැඩිම පදක්කම් ඒ ගමේ පොඩි ඉස්කෝලේ ගෙනියනවා. පැය ගනන් දණ ගස්සලා තියද්දි දෑත බදලා ගහලා දුවන්න හිතුණත් ඉස්කෝලෙ පොඩි එව්වො ටික බලා ගන්නේ තාත්තෙක් වගේ නේද කියල හිතුණු වාර අනන්තයි. අවුරුද්දේ පෙල පොත් ටික තැපැල් නයින්ටියේ බැඳගෙන දිප්පිටි කන්ද අද්දනවා දැනුත් මතක් වෙනවා.
“හරි සර්” කියලා කෙටියෙන් කිව්වේ දා හතර මඟ ඇරෙයි කියන බයට.
ආයෙමත් දා හතර නෑ. පොඩි වේදිකාව උඩ වෙන කට්ටියක්.
බඩගින්න හිතේ හෝදිසියට වඩා වැඩියි වගේ. සුගත්ව ඇදගෙන ඒ පාර ටැප් එක ලඟ ට ගියේ ආයෙම ගෙදර යනකං අයිස් පලමක්වත් නෑ කියලා හොඳාකාරවම දන්න නිසා. ටැප් එක හරියේ සෙනඟ තවත් වැඩි වෙලා, මූණෙ වතුර ටිකක් උලා ගෙන බස් වලට දුවන්න ලෑස්ති වෙන ගෑනු ළමයි, පිරිමි ළමයි.
ටැප් එක ලඟ මූණට වතුර දා ගන්න දා හතර. මම නැවතුණා. ජීවිතේ දැක්ක ලස්සනම දේ වෙන්න ඕනි. කොණ්ඩ කරල් දෙක යාළුවා අල්ලගෙන. මට හිනා ගියා.
ඇස් හොඳට ඒ මූණ ඇති වෙනකං බලා ගත්තා. අදාල සංඥා අඩුවක් නැතුව මොළේට දුන්නා. “ස්තූතියි” මොළය විසින් ඇස් වලට පණිවිඩයක් එව්වා.
පස්සේ කාලෙක මගේ ආදරවන්තිය වෙලා දා හතර මගෙ මුළු ලෝකෙම වෙනස් කලා නේද කියලා මතක් වුණා. ඒ වෙනකොට ඈ දා හතර නෙවෙයි, ගයනි.
“මනුස්සයෝ, යාළුවෝ එක්ක රස්තියාදු වෙන්නෙ නැතුව රස්සාවක් හොයා ගන්න”
වරාපිටිය බස් ස්ටෑන්ඩ් එකේ දි මට බැන්නා නොබැන්නා ලීලාවෙන් ඈ කිව්වා. මෙච්චර වෙලා හංගගෙන හිටිය ලියුම මම ඈට පෙන්නුවා. ගජබා රෙජිමේන්තුවේ ලාංඡනේ හෙඩිමේ ගහලා තිබුණු ලියුම.
ඒක කියවලා ගයනි ඇස් වල කඳුළු පුරෝගෙන මගේ දිහා බලා හිටියා, දෙන්නටම නිනව්වක් තිබුණේ නෑ ඒ කොයි තරම් වෙලාවක් ද කියලා, නෙවුස්මියර් බස් එක ස්ටාර්ට් කරලා ආව කළු දුම් වලාව නොහිටින්න අපි පැය ගාණක් එහෙම ඉන්න ඇති, කතාවක් නැතුව.
ඊට දවසකට පස්සේ අම්මා ඔතලා දුන්නු බත් දෙකත් අරගෙන පැටියා මාමා, ඒ කියන්නේ මැස්මොරේ හැදිලා ලිඳට වැටිලා අප්පුච්චා මියෑදුණ දා ඉඳන් මට අප්පුච්චා වුණු අම්මාගේ මල්ලි එක්ක මම සාලිය පුර පිටත් වුණා. සාලිය පුර කඳවුරේ කාමර අංක දා හතර මගෙ අලුත් නවාතැන වුණා.
මාස අටක පුහුණුවක් ඊට පස්සේ ක්‍රියාන්විත රාජකාරියට. එහෙමයි ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ.
සාලියපුරට ඇවිත් මාස දෙකක් ගිය තැනදි අපට පළවෙනි නිවාඩුව ලැබුණේ. ලෝකේ කොහොවත් නෑ ගෙදර තරං කියලා හිතුණේ පළවෙනි නිවාඩුවට ගෙදර ඇවිත් පළවෙනි වතුර පනිට්ටුව ඇඟ දා ගනිද්දි. අම්මගේ අතින් කන බත් ඇටේක වුණත් තියෙන ආදරේ මහ මෙරක් වගේ. පැටියා මාමා තාමත් අම්මව බලා ගන්නවා. ඒක ගැන මට තිබුණේ ලොකු සතුටක්. චීත්ත කෑල්ල ඉහේ ඉඳ පොරවගෙන රෑ තිස්සේ නින්දෙන් කෙඳිරි ගගා නිදා ගන්න අම්ම ගැන මට තිබුණේ අනියත බයක්.
දා හතර, මගෙ ගයනිව හම්බවුණු දා ත් අද වගේ මතකයි. තාමත් මතක් වෙන්නේ කලිං කතා කරගත්ත විදිහට වරාපිටිය බස් ස්ටෑන්ඩ් එකේ දි මං ගයනිව හම්බවෙන්න ගිහින් ඈත තියා අත වැනුවත් ගයනි ගණන් නොගෙන හිටිය විදිහ. පස්සේ තමා තේරුණේ නෝට් එකට කොණ්ඩේ කපලා, හිටියගෙන් භාගයක් වෙලා හිටි මාව අම්මට ඇරෙන්න වෙන කාටවත් අඳුරගන්න බැරි වග.
ඊළඟ නිවාඩුව ලැබෙන්න තව කල් තියෙන නිසා මං ඇති වෙනකං ගයනි එක්ක කතා කර කර හිටියා, කතා කලා කිව්වට අපි කලේ මූණ දිහා බලන් හිටිය එක, මහා ආදරයක් හිතේ හංගගෙන මූණ දිහා බලා ගෙන ඉන්න එක අපේ කතාවේ හොඳම කොටහ කියලා මට අදටත් හිතෙනවා.
ඊලඟ නිවාඩුවට එනකං අම්මට පරිස්සමින් ඉන්න කිව්වට ඒක වුණේ නෑ. නිවාඩුවට කලින් මම ආවා, අම්මගේ අවසන් කටයුතු වලට. හදිසියේ හැදුණු පපුවේ කැක්කුමට ගා ගත්ත සිද්ධාර්තේ විතරක් ඇඳ ලඟ බිම ඈගේ තනියට අන්තිමට තිබිලා තියෙනවා. ඒක මගේ ජීවිතේ ලොකුම පරාජය වුණා, අදටත් ඒ වරදකාරි හැඟීමෙන් මට මිදෙන්න බෑ. ගෙදරින් වුණු පොඩි පොඩි බලපෑම් හිංදා ගයනි ආවේ අන්තිම දාට විතරයි, සුගත්, පැටියා මාමා නොහිටින්න ඒ කිසිම කටයුත්තක් හරියාකාරව කර ගන්න වෙන්නේ නෑ.
අටවෙනි මාසේ අග විසිර යාමේ උත්සවයට එන්න මගෙ කියලා කිසිම කෙනෙක් උන්නේ නෑ. ගයනිට ගෙදරින් එන්න දුන්නේ නෑ, පැටියා මාමටත් දුර ගමන් තහනං කරලා තිබ්බේ. සුගත් දියතලාවේ එයාර්ෆෝස් කෑම්ප් එකේ පුහුණුව. ඊට අමතරව කියන්න තරං කෙනෙක් මගෙ ලෝකෙ හිටියෙත් නෑ. ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර්ව මතක් වුණත් ඒ මනුස්සයට කරදර කරන්න ඕනි නෑ කියලයි හිතුණේ. අන්තිමේ පුහුණුව භාර සර් තමයි මගෙ බැජ් එක පැලඳුවේ, මං අනික් උදවිය දිහා බැලුවේ නෑ, කොච්චර හිත හයිය කරගෙන හිටියත් මට ඇඬෙන්න ඉඩ තිබුණා.
පුහුණුවෙන් පස්සේ කෙලින්ම යාපනයට, ගජබා රෙජිමේන්තුවේ දා හතරවෙනි බලකායට. යාපනය කොටුවට. සුගත්ගෙ නමට මම යවන ලියුම් ගයනි එයාගෙ යාලුවෙක් ලවා ගෙන්න ගන්නවා, මට එවන ලියුම් ඒ යාලුවාම තැපෑලට දානවා. ලියුම් ගණුදෙණුව එච්චරම ලේසි වුණේ නෑ. හැබැයි ඒවගෙ දහසකුත් බලාපොරොත්තු පොදි ගැහිලා තිබුණා.
මම යාපනයට ගිහින් මාස දෙකක් ගිය තැන ටෙරාල අපිව වට කලා. මං අදටත් ආවර්ජනය කරන්න අකමැති මතකය. දවස් දා හතරක් කැලේ නොදන්න තැනක කොටු වෙලා හිටිය මං බිමට වැටුනු වැහි වතුර ටික ලෙව කාලා මැරෙන්නෙ නැතුව හිටියා. දා හතර වෙනි දවසේ මම ටෙරාලට කොටු වුණා. එකපාර මැරුව නම් එකක් කියලා හිතෙන තරමට වද ඒ මොහොතේ ඉඳන් විංඳා. හැරෙන්න කරන්නවත් බැරි කටු කම්බි වලින් හදාපු වධකාගාර වල පැය විසි හතරම හිටන් ඉඳලා, ඇඟේ කිසිම මාංසයක් වැඩ නොකරන ගාණට තිබුණේ. දවසක් බැරිම තැන කටු කම්බි ටික ඈත් කරලා පනින්න හිතුණේ මොකද කියලවත් මම දන්නේ නෑ, අන්තිමට වුණේ අත බරු ගිය එක විතරයි, ඇඟේ තිබුණු ලේ ටික නාස්ති වුණ එක විතරයි. තුවාලේ වේදනාවට කෑගහන හැම වෙලේ ම මොකෙක් හරි එකෙක් ඇවිත් තවත් පාගලා තුවාල පාරලා යනවා.
කොහේදෝ තිබුණු වාසනාවක් නිසා මමත් ඒ කොටි තිප්පොලේ හිටිය අනික් සහෝදරයො හතර දෙනාවත් අපේ බලකායෙන් ම ඇවිත් බේර ගත්තා. එතකං හරියටම මාස දා හතරක් අපි මේ තැන වධ වින්ඳා. ඒ වෙද්දි ඇඳි වතවත් අපට තිබුණේ නෑ, වැඩියෙන් ම අමාරු වුණේ මට, බරු ගිය අතට හරියාකාර බෙහෙතක් වැටුණේ නැති නිසා පණු පොකුරු වැටෙන ගාණට තිබුණේ.
අන්තිමේ පලාලි වලින් කොළඹ ගෙනත් අත කැපුවා, මං හිටියේ දා හතර වාට්ටුවේ. ආයෙමත් වතාවක් සුගත්ගෙ නමට ගයනිට මම ලියුමක් ලියා ගත්තා. හිතේ තිබුණු ඔක්කොම ඒකෙ ලිව්වා කියලයි මට හිතුණේ. ලියුමට උත්තර ආවා, තවත් ලියුමක් නෙවෙයි, සුගත් කොළඹ දුවගෙන ආවා. මං වෙනුවෙන් පාංසකූලේ දුන්නු වග සුගත් කිව්වේ තුන් හතර වතාවක් මාව බදා ගත්තයින් පස්සේ. කොටුවේ සටනින් පස්සේ මම නැති වුණා කියල හිතපු ගයනි වෙන කෙනෙකුගෙ දරුවෙක් කුසේ දරාගෙන ඉන්න වග ත් සුගත් කිව්වා. මට මහ හයියෙන් ඇඬුණා. අපේ දරුවා පිරිමි ළමයෙක් වුනොත් අපූර්ව කියල දාමූ, ගයනිගෙ ලියුමක තිබුණා මතක් වුණා. ඒ නම එයා කියවපු පරිවර්තන පොතක තිබුණු නමක් කියලා කිව්වේ.
කොළඹින් රාගම රණ විරු සෙවණට මාව ගෙනිච්චා. සාමාන්‍ය කටයුතු කරන්න පුලුවන් වුණු තැනදි මාව එහෙ කටයුතු වලට තියා ගත්තා, වේදනාවෙන් ඉන්න මගේ ම සහෝදරයින්ට අත්වැලක් වෙන්න ලැබුණු එක පිනක් එක අතකට. රණවිරු සෙවණේ සර් කෙනෙක්ම “දවසක් ආයෙත් අපි දුවමුද තිසේරා” කියලා ඇහුවා, මට පුදුමත් හිතුණා. “තිසේරගේ ෆයිල් එකක් මට ලැබුණා. හරි මිනිහෙක් නෙ අපට ඉන්නේ. හෙට ඉඳන් ප්‍රැක්ටිස් කරමු.” බස්නායක සර් ඔක්කොම තීරණය කලා..
ඒත් දිප්පිටිය ගමේ ඉස්කෝලෙ පිට්ටනියෙ දුවපු තිසේරා හිටියේ නෑ. පැය ගණන් එකම ඉරියව්වෙන් හිටි නිසා දුර්වල වුණු කෙණ්ඩා ආයෙ ම ඉස්සර වගේ දුර දිවිල්ලට හයියක් වෙන්න තරමට තිබ්බේ නෑ. බස්නායක සර්ටත් දුක හිතිලා හිටියේ, වචනෙන් නොකිව්වට ඒ වග මං දැනන් හිටියා. පස්සේ සර් ම තීන්දු කරලා මට දුර පනින්න පුළුවන් ද බලන්න කිව්වා. පළවෙනි වතාව ලේසි වුණේ නෑ, ඒත් හිතේ කොනක තිබුණා කොහොම හරි මේ දේ කරන්න ඕනි කියලා, මොකද පිට්ටනියෙදි විතරයි පරණ මතක මාව කුසීත නොකරන්නේ.
උදේ වරුවට පැවරිලා තියෙන කටයුතු ඉවර කරලා පිට්ටනියේ රෑට රෑ වෙනකං ඉන්න එක පුරුද්දකට ආවා, ඒ හැම හැන්දෑවක් ම අම්මගෙ හරි ගයනිගෙ හරි මතක වෙනුවෙන් මම වෙන් කලා….
ඒ පුරුද්ද මාව දුර පැනීමේ හපනෙක් කරලා තිබුණා.
“ඩබ්ලිව් බී තිසේරා, නොම්බර හැට හතර , ගජබා රෙජිමේන්තුව, T47 කාණ්ඩය”.
මචං උඹ ඊළඟට පිටිපස්සේ හිටි කෙනා මට තට්ටුවක් දාල කිව්වා.
මෙච්චර වෙලා වැක්කෙරුණ මතක ගංඟාවට තිත.
ආයෙමත් පපුව සද්දෙන් ගැහෙනවා, හැබැයි මෙච්චර වෙලා තිබුණු හිතේ මහන්සිය නෑ. වැක්කෙරුනු මතක එක්ක ලොකු ගැම්මක් ආවා.
මම සීමාවට ගියා…..
පපුව පිරෙන්නම හුස්මක් ගත්තා…
සැරසෙන්… වේන්… තඩ්…
දිව්වා… දිප්පිටිය ගමේ ඉස්කෝලෙ තිසේරා දිව්වා…
අන්තිම ලී පටියට කකුල තිබ්බා….
ඔක්කොම මතක හෑල්ලු වෙන්න කියලා හිතා ගෙන පැන්නා…
කාත් කවුරුවත් නැති…
මතක වල බරක් නැති
තිසේරා පාවෙනවා….
පිච් එකේ වැලි දෙබෑ කරගෙන තිසේරා වැටුණා….
ඔක්කොම ඔලුවේ අත තියා ගෙන…
තිසේරා නැඟිට්ටේ නෑ… හැබැයි පුළුවන් එකම අතෙන් වැලි මිටක් තදින් අල්ල ගත්තා.
“ඩබ්ලිව් බී තිසේරා, නොම්බර හැට හතර , ගජබා රෙජිමේන්තුව, T47 කාණ්ඩය , මීටර් හයයි දශම දෙකයි නවය, පැරා ඔලිම්පික් තරඟ සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සම්පූර්ණ කර ඇත”
ප. ලි:
කාලෙකින් ඊයෙ වැස්සා. පාන්දර ඉඳලා වැස්සා, හවස් ජාමෙ වෙනකොටත් අහස විඩෙන් විඩේ ඇඬුවා. කෝච්චි හරියට දුවන කං කියලා කොළඹ ඉන්න මට මොනවා හරි ලියන්න ඕනි කියලා හිතෙන තරමට සීතල දවසක් . කෝපි කෝප්ප තුනක් හතරක් එක්ක Love Aaj Kal ෆිල්ම් එකේ Mehrama කියන සිංදුවයි Malang ෆිල්ම් එකේ Chal Ghar Chalen කියන සිංදුවයි on repeat දාල අහන ගමන් ලියපු තිසේරගෙ කතාව.